Image

නවීකරණය කළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරයි

නවීකරණය කළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (Division of Biomedical Engineering Service - BES) පුළුල් කර නවීන පහසුකම් බද්ධ කරමින් සිදු කළ නවීකරණයෙන් පසු එම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීම මෙන්ම පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකවලට ඉංජිනේරු මෙවලම් බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee , කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek, Kwan-baek යන අය ගේ සහභාගීත්වයෙන් අද (16) පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙන් මිලියන 501ක්

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම (KOFIH) මගින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ (BES) අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය ඇතුළුව ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 501 කට අධික මුදලක් වැයකර ඇත.

මධ්‍යම, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් සභා යටතේ ස්ථාපිතකර ඇති ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක වෙත ඉංජිනේරු මෙවලම්, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම්ද බෙදා දීම ද, මෙහිදී සිදු විය. ඒ සඳහා රුපියල් මිලියන 228 කට අධික මුදලක් කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම වැයකර ඇත.

අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවැසුවේ කොරියානු රජය දශක ගණනාවක සිට මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපන, යන අංශ ඇතුළු ඩිජිටල්කරණ ව්‍යාපෘති මෙන්ම ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාවය දක්වන බව යි. වර්තමානයවන විට විශාල ගැටලුවක්ව පවතින මෙරට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘති රාශියක් කොරියානු ජනරජය මගින් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සියල්ල ම වෙනුවෙන් දක්වන දායකත්වය විශේෂයෙන් අගය කිරීමට ලක් කළ යුතු බව ද පැවසී ය.

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ ප්‍රතිකාර සේවාවන් හි දී මෙන්ම රෝග හදුනා ගැනීමේ දී ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව කෙතරම් වැදගත්ද යන්න මෙරට ජනතාව දන්නා බවත්, එම සේවාවන් සැපයීමේ දි උපකරණවල වරින්වර ඇතිවන ගැටලු අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස හදුන්වා දිය හැකි බවත් පැවසී ය.

ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ වගකීම

ප්‍රතිකාර සේවා සදහා අවශ්‍යවන සමහර උපකරණ අවශ්‍ය පරිදි නොලැබීමට වඩා එමගින් අඛණ්ඩ සේවාව නොලැබීම හේතුවෙන් මෙරට ජනතාව විශාල වශයෙන් අපහසුතාවයට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම උපකරණ නිසි පරිදි නඩත්තු කරමින් සහ නිසි පරිදි ප්‍රතිස්ථාපනය කරමින් සැපයීමේ කාර්යභාරය ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට පැවරෙන බව ද පැවසීය.

එම්.ආර්.අයි, සී.ටී, කැත්ලැබ්ස්, හා ලීනියා ඇක්සලේටර් යන නවීන තාක්ෂණය සහිත උපකරණ මෙන්ම ප්‍රමාණයෙන් ලක්ෂ පහක උපකරණ ප්‍රමාණයක් මෙම අංශය මගින් නඩත්තු කරගෙන යන බව ද සඳහන් කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකරමින් යන සේවාව තවතවත් විධිමත් කිරීමට, ඉහළ ම මට්ටමින් අඛණඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යකරන පහසුකම් අද දිනයේ ලබා දුන් බව ද සඳහන් කර සිටියේ ය.

වර්තමානය වන විට සෞඛ්‍ය සේවාවේ විශාල පරිවර්තනයක්

ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය සදහා මෙම ගොඩනැගිල්ල 1993 වර්ෂයේ දී ලබාදීම පිළිබඳව ජපාන රජයටත් එහි දෙවන අදිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන් කොරියානු රජයටත් අමාත්‍යවරයා මෙහි දී සිය කෘතඥතාවය පළකර සිටියේය.

2019 වර්තමානයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භකර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ වර්තමානය වන විට විශාල පරිවර්තනයක් සිදුව තිබෙන බවත්, එය මේ වන විට දෘශ්‍යමාන වෙමින් තිබෙන බවත් පැවසීය.

කාර්ය මණ්ඩල බදවා ගැනීම, පුහුණු කිරීම, නව තාක්ෂණික උපකරණ හදුන්වා දීම,නව ගොඩනැගිලි ඉදිකිරීම සහ නවතා දමා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම වැනි ව්‍යාපෘතීන් කිහිපයක් එහිදී සිහිපත් කළ අමාත්‍යවරයා සියළු අංශයන් සමග අන්තර් සම්බන්ධතාවයක් සහිතව කටයුතු කිරීමෙන් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ ධාරිතා වර්ධනය සඳහා පශ්චාත් උපාධි වැඩසටහන්

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනී Miyon Lee සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද මෙහි දී අදහස් පළ කළහ.

පුළුල් කොට නවීන පහසුකම් බද්ධ කරමින් සිදුකරන ලද නවීකරණයෙන් පසු මෙම මධ්‍යස්ථානය මගින් මෙරට ජනතාවට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ලබා දීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි දියුණු වේ. එමෙන්ම ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ වැඩිදියුණු කළ තාක්ෂණික සහ සැපයුම් පහසුකම් ද මේතුළ සපයා ඇත. නවීන ශ්‍රවණාගාරය තුලින් විශයට අදාළ නිලධාරීන්, කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් පුහුණු කිරීමට මෙන්ම අධ්‍යයන කටයුතුවලදී නිරූපණ සඳහා වඩා හොඳ දෘශ්‍යකරණයක් ලබා දීමට අවශ්‍ය පහසුකම්ද සළසා ඇත.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම "ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ ධාරිතාව ගොඩනැගීම " ව්‍යාපෘතියට අවශ්‍යවන අරමුදල් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක ප්‍රදාන ව්‍යාපෘතියක් වේ.

ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය සහ ඒකකවල පහසුකම් වැඩිදියුණු කිරීම, වෛද්‍ය උපකරණ ඉන්වෙන්ටරි කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම් සැපයීම, ජංගම වැඩහල් වාහන සැපයීම සහ ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ ධාරිතා වර්ධනය සඳහා පශ්චාත් උපාධි වැඩසටහන් සහ කෙටි තාක්ෂණික පාඨමාලා මාලාවන් ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධාන සංවර්ධන ක්‍රියාවලියන් ලෙස හැදින්විය හැක.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්,අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්, KOICA, Korea Exim Bank, KOTRA, EPS Center, සහ Saemaul Foundation යන කොරියානු ආයතනයන්හි නියෝජිතයින්, කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මූලස්ථානයේ අධ්‍යක්ෂ, කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයන්, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ සේවයේ නියුතු නිලධාරීන්, සියලු කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් ද එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

jeewa 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න