ජනාධිපතිට චරිත දෙකක් තියෙන බව විදෙස්ගත ශ්‍රමිකයින් දන්නවා

ජනාධිපතිට චරිත දෙකක් තියෙන බව විදෙස්ගත ශ්‍රමිකයින් දන්නවා
ජනාධිපතිට චරිත දෙකක් තියෙන බව විදෙස්ගත ශ්‍රමිකයින් දන්නවා යැයි ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව චෝදනා කරයි.
 
එම සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ එසේ චෝදනා කල අතර වැඩිදුරටත් මෙසේද පවසා ඇත. 
 
විදෙස්ගතවෙලා ඉන්න අපේ රටේ පුරවැසියන්ට කොරෝනා වසංගතය නිසා ගුවන්තොටුපොළ වහලා තිබුණා. විවිධ අවශ්‍යතා සඳහා විදේශගත වූවන් සහ විදේශ රැකියා කිරීමට පිටත්ව ගොස් සිටින අය විශාල පිරිසක් මව්රට පැමිණීමේ අපේක්‍ෂාවෙන් ඉන්නවා. මේ අතරින් ජෝර්දානයේ සිට පැමිණීමට සිටි පිරිසකට පොලීසිය යොදවා පහරදීම් සිදුකළා. අපි ඒ තත්වය හෙළාදකිමින් ජනමාධ්‍යයට තොරතුරු හෙළිකළා. එවැනි තත්වයක් තුළ පවා මේරටට පැමිණීමට ලාංකික පුරවැසියන්ට තිබෙන අයිතිය ආණ්ඩුව පිළිගත්තේ නැහැ. මේ වනවිට රැකියා අහිමිවීම ඇතුළු විවිධ හේතු නිසා ඉන්න තැනක් පවා නැතිව පාරට වැටුණු ස්ත්‍රීන් ඉන්නවා. ගුවන් ටිකට්පත මිලදී ගන්න විවිධ රැකියාවල යෙදීමට සිදුවුණු අයත් ඉන්නවා. සෞඛ්‍යය, ආරක්‍ෂාව, ආහාරපාන ඔවුන් වෙනුවෙන් ලබාදීමේ මූලික වගකීමක් ආණ්ඩුවට තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේ නැහැ. 
 
විදේශගතව රැකියා කළ අය ගෙන්වා ගැනීම පැත්තකට දැමූ ආණ්ඩුව, උදයංග වැනි කුප්‍රකට ජාවාරම්කරුවන් මූලිකවෙලා ගෙන්වන සංචාරකයන්ට රතු පාවාඩ එලන්න ආණ්ඩුව ඉඩදුන්නා. ඩොලර් බිලියන 07ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයන් උපයා දෙනවා. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නේ රු. බිලියන 04ක් විතරයි. එහෙම තියෙද්දී වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයෝ පැත්තකට දාලා සංචාරකයින් යැයි කියන කොරෝනා රෝගීන් පවා ගේන්න ආණ්ඩුව ඉඩ දුන්නා. ඔවුන් රඳවලා ඉන්න හෝටල්වල සේවය කරන ලාංකිකයන් අනතුරක හෙළුවා. ජනාධිපතිවරයා මේ ලාංකිකයන් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. ජනාධිපතිවරයාම තමන්ට චරිත දෙකක් තියෙන බව කියා තිබුණා. අපි දන්නවා පැහැදිළිවම ජනාධිපතිවරයාට චරිත දෙකක් තිබෙන බව. ඡන්දයට කලින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඡන්දය තමන් වෙත දාගන්න ලොකු උනන්දුවක් පෙන්නුවා. ඡන්ද ටික දාගත්තාට පස්සේ සුදුනූල වෙනුවට අතට රතුනූලක් ඇවිල්ල තියෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් ටිකත් අමතක කළා. 
 
ආණ්ඩුව මේ දෙබිඩි පිළිවෙතත් අනුගමනය කරද්දී විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව කරන ප්‍රකාශ පිළිගන්නේ කොහොමද? ආණ්ඩුවට හිතවත් ජාවාරම්කරුවන් පෝෂණය කිරීමේ අරමුණින් පමණක් ඇතැම් කණ්ඩායම් රටට ගෙන්වනවා. ඇවන්ගාඞ් මුදලාලිගේ මැරිටයිම් සමාගමට මේ අයගේ පරීක්‍ෂණය කරන්න දීලා. පළවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයට රු 23,500කුත් දෙවැනි පී.සී.ආර්. එකට රු. 14,500ක් අය කරනවා. හෝටල් ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු නැතිව රු 38,000ක් අය කරනවා. මාස 8-9ක් රැකියාව අහිමිවී සිට තමන්ගේ ඇඟ විකුණලා හරි ටිකට් එකට සල්ලි හොයාගෙන මේ රටට එන අය ගසාකන්න ජාවාරම්කරුවන්ට ඉඩ දීලා. මුළු වියදම රු. ලක්‍ෂ 4ක් හෝ 5ක් නිරෝධායනයටත් එක්ක යොදවන්න සිදුවෙනවා. මෙච්චර කාලයක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ජීවත් වුණු ආණ්ඩුවක් විදිහට මේ වගේ ක්‍රියා කරන්න ලැජ්ජා නැද්ද?  
 
මේ අය වෙනුවෙන් වියදම් කරන්න කුවේට් වන්දි අරමුදල තියෙනවා. රු. බිලියන 03ක් විතර මේ අරමුදලේ තියෙන අතර විදේශගතවන ශ්‍රමිකයන්ගේ රක්‍ෂණ අරමුදලේ රු. කෝටි 1,000ක් විතර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදලක් තියෙනවා. මේ අරමුදල් තුනම යොදවලා විශේෂයෙන් මැදපෙරදිග අතරමං වෙලා ඉන්න ගෘහ සේවිකාවන් ඇතුලු විදෙස්ගත ශ්‍රමිකයන් ඉක්මනින් ගෙන්වා ගැනීමට මේ මුදල් යොදවන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. මේ ශ්‍රමිකයන්ගේ පවුල්වල අයත් සම්බන්ධ කරගෙන ඉදිරියේදී අපි උද්ඝෝෂණ ආරම්භ කරනවා; ජනතාව දැනුවත් කරනවා.  
 
ප්‍රමාදවෙලා හෝ ආණ්ඩුව ජාවාරමක් වෙන බව පිළිගත්තා - විදෙස්ගත ලාංකිකයින්ට පැත්තක දාපු ආණ්ඩුව ජාවාරම්කාරයින් ගෙන්වන සංචාරකයින්ට රතුපාවාඩ දැම්මා - ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය
 
women press vi 
ගිය සතියේ ආණ්ඩුව පාර්ශ්වය විසින් පාර්ලිමේන්තුව තුළදීත්, පිටදීත් විදේශගත ශ්‍රමිකයන් ගෙන්වා ගන්න ක්‍රියා කරන බව ප්‍රකාශ කළා. නමුත් මේක ගිය සතියේ ඇතිවුණු ප්‍රශ්නයක් නෙවෙයි. අවුරුද්දකට කිට්ටු කාලයක් වර්ධනය වුණු දෙයක්. අපිත් ඇතුළුව විවිධ පාර්ශ්ව විසින් මේ කරුණු ඉදිරිපත් කළා. ඒ හැම වෙලාවෙම ආණ්ඩුවෙන් කීවේ රටට දරාගන්න පුළුවන් ප්‍රමාණයෙන් ගෙන්වා ගන්න බවයි. අපේ රටේ පුරවැසියන් 300කට ආසන්න ප්‍රමාණයක් කොවිඞ් ආසාධනයෙන් පිටරටවලදී මිය ගිහිල්ලා. ප්‍රශ්නයේ උච්ඡතම අවස්ථාවකට ඇවිත් තිබියදී මේ තුළ ජාවාරමක් තිබෙන බව රජය පිළිගන්න එක හොඳයි. හැබැයි අනෙක් සියලු තත්වයන්හිදී වගේම ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න ඉඩ ඇරලා හිටපු ගමන් කුලප්පු වෙලා කටයුතු කිරීම හරිම ඛේදවාචකයක්. අභියෝගාත්මක කාලයක් තුළ හිටි හැටියේ මෙහෙම ක්‍රියාත්මක වෙනවා නම් රජයක වගකීම නොවෙයි. 
 
විදේශ රටවල්වල මැදිහත්වීමෙන් අපේ රටට මේ අය එවන්න මුලදී මැදිහත් වුණා. ආණ්ඩුව එයින් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. මේ වෙනකොට රටට පැමිණීමේ අපේක්‍ෂාවෙන් ලැයිස්තුගත වෙලා ඉන්න අය වගේම ලයිස්තුගත වෙන්න ඉන්න අයත් ඇඟ හරි විකුණලා ලංකාවට එන්න උත්සාහ කරන්නේ. නිල කටයුතු හරියට සිදු නොවන විට ජාවාරමුන්ට මේ අය ගොදුරු වෙනවා. ආණ්ඩුව දැන් වෙනත් විදිහේ කතාවකුත් කියනවා. ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන් නිසා ප්‍රශ්න ඇතිවෙලා තිබෙන බව. හැබැයි ඒ අය මේ රටට බිලියන 07ක් විතර එවනකොට ලියාපදිංචි වුණු අයද නැද්ද කියලා හෙව්වේ නැහැ. ඒ සියලු මුදල්වලින් තමයි රජයක් පවතින්නේ. නමුත් ප්‍රශ්නයක් ආවාම ඒ අය ජීවිතයයි, මරණයයි අතර සටන් විදිනකොට බොහෝ දේවල් සොයා බලනවා. මේක කොච්චර අසාධාරණද? මේ වෙනකොට ලංකාව විතරයි කොවිඞ් වසංගතය හමුවේ තමන්ගේ පුරවැසියන්ට මේ විදිහට සලකන එකම රට. ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනෑ. බංගලිදේශය, පකිස්තානය, ඉන්දියාව වගේ අපේ කලාපයේ හැම රටක්ම රජයේ වියදමින් විදේශගත පුරවැසියන් ගෙන්වා ගත්තා. 
 
තමන්ගේ රටේ පුරවැසියන්ට ආපහු එන්න තියෙන අයිතිය නිශ්ප්‍රභා කරන එකම රජය ශ්‍රී ලංකාව වීම මොන තරම් ඛේදවාචකයක්ද? ප්‍රශ්නයක් තිබෙනවා කියලා දැන් හරි පිළිගත්තා. ජාවාරමක් තියෙනවා කියලාත් පිළිගත්තා. අවුරුද්දකට කිට්ටු කාලයක් පරක්කු වී තිබුණත් දැන් හරි ක්‍රියාත්මක වී අපේ රටේ පුරවැසියන්ට නැවත පැමිණීමේ අයිතිය ක්‍රියාත්මක කරන්න කියලා බලකරනවා. මේ ක්‍රියාවලියේ ක්‍රෑරත්වය තවත් පැහැදිලි වුණේ යුක්‍රේනයෙන් ආ සංචාරකියින් උත්සවශ්‍රීයෙන් පිළිගත් විදිහෙන්. මේවා කරන්නේ කවුද? මොකක් වෙනුවෙන්ද? උදයංග වීරතුංග කියන්නේ හොරෙක්. එයා සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන පුද්ගලයා බවට පත්වුණේ කාගේ අවසරයක් ඇතිවද? සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියවත් දන්නැති බව කියනවා. උදයංග පත්තරවලට උත්තර දෙන්නේ “එයා කවුද එහෙම කියන්න” කියලා. අපි අහන්නේ උදයංග කවුද එහෙම ප්‍රශ්න කරන්න කියලා. එයා වගකියන්නේ කාටද? සභාපතිනිය නිල වශයෙන් පත්වෙච්ච පුද්ගලයෙක්. එයා වගකිව යුතු අමාත්‍යාංශයක් තියෙනවා. නමුත් උදයංග විරතුංග මේ කරන ක්‍රියාමාර්ග අප්‍රසන්නයි. රටේ ආයතනික ක්‍රියාවලිය කඩා වැටෙන විදිහට මේ ගොල්ලො මැදිහත් වෙනවා. 
 
මේ තත්වය ඉතාම භයානකයි. මේ තත්වය ආරක්‍ෂා කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියෙක්. ඒ කෙනෙක් කියලා තිබුනා, යුක්‍රේන් සංචාරකයෝ ගෙන්නා ගන්නේ අත්හදා බලන්න කියලා. යාල සෆාරි ජීප් රියදුරන් යොදාගෙන තිබුණේ මේ කිසිම දෙයක් ඔවුන්ට දැනුවත් කිරීමෙන් නෙවෙයි. මේ වගේ කටයුතු නවත්තලා වහාම පිළිගත හැකි ආකාරයට ක්‍රියා කරන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා.  
 
විදේශ රටවලදී මිය ගිය සෑම ජීවිතයකටම මේ ආණ්ඩුව වගකිව යුතුයි- සරෝජා සාවිත්‍රී පෝල්රාජ් - ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව
 
women press iii 
කොරෝනා වසංගතය තමන්ගේ ව්‍යාපාරික මාෆියාවක් වෙනුවෙන් ඥාතීන්ට ඥාති සංග්‍රහ කරන්න ආණ්ඩුව යොදාගෙන තිබෙනවා. තීරණාත්මක ජීවිත සටනක ඉන්න විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අති සංවේදී ප්‍රශ්නය ව්‍යාපාරික වුවමනාවන්ගේ සෙල්ලමක් හැටියට පාවිච්චි කරන්න තවදුරටත් කිසිසේත්ම ඉඩනොදෙන බව අපි අවධාරණය කරනවා. ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව හැටියට අපි බලකරලා කියන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජීවිතවල අයිතිය ආණ්ඩුව ගන්න ඕනෑ. බලපෑම් පාර්ශ්වයක් හැටියට අපිත් ඉදිරියේදී දැඩි බලපෑමක් සිදු කරනවා. මෙරට ආර්ථිකයේ වැඩිම පංගුවක් දැරුවෙත් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාකාරිත්වය තිබුණේ විදේශගත ශ්‍රමිකයන් නිසා. වසංගතය ඇතිවීමත් එක්ක කුවේට්, සෞදි වගේ බොහෝ රටවල් ඔවුන්ගේ ගුවන් සමාගම් යොදවලා ලංකාවට මේ අය ගෙනත් ඇරලවන්න කාලයක් දීලා තිබුණා. අගෝස්තු 31 දක්වා කාලයක් අපේ රජයට දී තිබුණා. නමුත් අපේ ආණ්ඩුව ඒ ඉල්ලීම බාරගත්තේ නැහැ. ඒ සහනය ලබා ගත්තේ නැහැ. මේ නිසා කොරොනා රෝගයෙන් ලංකාවේ මිය ගියාට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයෝ විදේශීය රටවලදී මියගිහිල්ලා තියෙනවා. 
 
පිටරටවලදී මියගිය හැම ශ්‍රී ලාංකිකයෙකුගේම ජීවිතයට මේ ආණ්ඩුව වගකියන්න ඕනෑ. ඔවුන් වෙනුවෙන් වන්දි ගෙවනන් ඕනෑ. පුරවැසියෙක් හැටියට තම මව්බිමට ඇවිල්ලා පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න තිබුණු අයිතියට පයින් ගැහුවා. කිසිම ආණ්ඩුවකට මේ විදිහට හැසිරෙන්න බැහැ. ලෝකයේ අනෙක් හැම රටක්ම තමන්ගේ පුරවැසියන් ජීවත් කරවීමේ අයිතිය බාරගත්තා. හැබැයි මේ ආණ්ඩුව රට බේරගන්නවා කියලා පත්වෙලා තමන්ගේ ජනතාවට නන්නාඳුනන දේශයක අසරණයින් හැටියට මැරෙන්න ඉඩ ඇරලා තිබෙනවා. ලැජ්ජාසහගතයි. තව දුරටත් මේ දේ සිද්ධ වෙන්න දෙන්න බැහැ. 68,000කට වැඩි පිරිසක් රටට එන්න බලාගෙන පොරොත්තු ලේඛනවල ඉන්න බව සඳහන් වෙනවා. මේ අය ගෙන්වා ගන්න රජයට තිබෙන වැඩපිළිවෙළ මොකක්ද? විවිධ හේතු නිසා රැකියා අහිමිවී එන්න බලාගෙන ඉන්න අයට අඳින්න ඇඳුමක් පවා නැති තමන්ගේ සනීපාරක්‍ෂක පහසුකම් ලබාගන්න හෝ නොහැකිවී තිබෙනවා. කොතරම් වේදනාකාරීද කියනවා නම් ගනිකා වෘත්තියේ යෙදිලා ජීවත්වෙනන් සිදුවි තිබෙන බව වීඩියෝ පට හරහා ලෝකයටම ප්‍රසිද්ධ කළා. එහෙම හරි කරලා තමන්ගේ මව්රටට ගිහින් මැරෙන්න ඕනෑ කියන බලාපොරොත්තුවෙන් ඔවුන් ඉන්නවා. 
 
ආණ්ඩුව ගමන් කරන්නේ මොන මාවතේද කියන එක අපිට පැහැදිලියි. ජාතිය ආරක්‍ෂා කරනවා කියලා ආවාට, දේශීයත්වය ආරක්‍ෂා කරනවා කියලා ආවට ජනතාවගේ වගකීම ගන්න දැන්වත් මැදිහත් වෙන්න කියලා බල කරනවා. 2/3ක බලයක් දීලා ආණ්ඩුව පත්කරගත්තේ තමන්ගේ පුරවැසියන්ව මේ විදිහට නොසළකා හරින්න නොවෙයි. වේලක් කාලා ජීවත් වෙන්න හරි ඒ හැම කෙනෙකුටම ලංකාවට එන්න අයිතියක් තියෙනව. ඒ අයිතිය තමයි ජාවාරම්කරුවන් යොදාගනිමින් ඉන්නේ. මේ තත්වය වහාම වෙනස් කර මිත්‍යා මත පසුපස දිවීම නවත්වා වගකීම්සහගතව කටයුතු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෑ. එක පැත්තකින් පැණියක් අත්හදා බලන්න ජනතාව යොදා ගන්නවා. තව පැත්තකින් සංචාරක ව්‍යාපාරය අත්හදා බැලීම් කරන්න ලොක්ඩවුන් කරපු රටකින් සංචාරකයෝ ලංකාවට ගේනවා. මේ රටේ ජනතාවගේ ජීවිතවලින් අත්හදා බලන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත පරික්‍ෂණාගාර මීයන්ගේ තත්වයට පත්කරලා. තව දුරටත් ජනතා ජීවිත සමග සෙල්ලම් කරන්න ඉඩ තියන්න බැහැ. 
 
අපි සංවිධාන හැටියටත්, ජනතාව හැටියටත් අපේ රටේ පුරවැසියන් සම්බන්ධයෙන් වගකීම ගන්නවා. ඒ වෙනුවෙන් ජනතාව ඒකරාශී කරනවා. ඒ වගේම ජනතාවට කියන්නේ ඔබ 2/3ක් ලබාදීලා පත් කරගත් මේ ආණ්ඩුව ජීවිත සමග සෙල්ලම් කරනවා නම් ආණ්ඩුව හරි පාරට දාන්න නාස් ලණුව අදින්න කාලය දැන් හරි කියලා. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. ආණ්ඩුවේ අසාර්ථකභාවයෙන් ඇතිවන සෑම ව්‍යසනයක්ම ජාතිවාදයයෙන් වහගන්න උත්සාහ කරනවා. විද්‍යාත්මක ක්‍රමවේද රටක් තුළ අත්හදා බන්න ඕනෑ. විද්‍යාත්මක ක්‍රම පැත්තක තියෙද්ද ජනතාව අන්ධ කරලා මිත්‍යා පසුපස දුවන්න සළස්වන අතර ආණ්ඩුව ජාතිවාදයත් යොදා ගන්නවා. සජීවි සෛලවලින් වෛරසය පැතිරෙන බව අදාළ විද්‍යාඥයන් ප්‍රකාශ කරද්දී ඒ වෛරස අධිකම රටකින් සංචාරකයෝ ගෙනල්ලා ලංකාව පුරා යවනවා. ඒ ආණ්ඩුව මළමිණියක් වළලනවාද, පුච්චනවාද කියලා සංවාදයක් රට තුළ ඇති කරලා මිනිස්සු භේදභින්න කරන්න අනියමින් කටයුතු කරනවා. ඒක ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බව අපි බය නැතිව කියනවා. ජනතාව කුළල්කා ගැනීමට පත්කර තිබීමෙන් වැළකීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජනතාවගේ සියුම් හැඟීම් එක්ක සෙල්ලම් කිරීම නවත්වන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. 
 
ආණ්ඩුව විද්‍යාත්මක ක්‍රමවේදයකට ප්‍රශ්න විසඳනවා වෙනුවට අදිසි බලවේග යොදා ගනිමින් ජනාධිපතිවරයා රට පාලනය කරනවා කියන එක දැන් හෙළිවී තිබෙනවා. අදිසි බලවේගවලත් මිත්‍යාවට එරෙහිව විද්‍යාත්මක ක්‍රමවේදවලට රට පාලනය කරන්න පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ගත යුතුයි. ඒ වගේම මේ වසංගත මොහොතේ සෞඛ්‍ය අංශවලින් ලබාදෙන විධිවිධාන ක්‍රියාත්මක කරන්න කියලා බල කරනවා. ආණ්ඩුවකට ඉබාගාතේ යන්න බැහැ. මිත්‍යාවෙන් රට පාලනය කරන්න බැහැ. මිත්‍යාවෙන් තොරව පැහැදිලි විද්‍යාත්මක ක්‍රමවේදය සකස්කරගෙන ජනාතව පෙළ ගස්වන වගකීම ආණ්ඩුව අත්හරිනවා නම් ඊට එරෙහිව ජනතාව ඒකරාශී කරන්න අපි සූදානම් කියන එක මේ වෙලාවේ කියනවා. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න