“දළදා හාමුදුරුවන් වහන්සේ රකිනවා වගේ නැගෙනහිර පර්යන්තය රකින්න අපි ඉදිරිපත් විය යුතුයි. එය අපේ යුතුකමක්.” යනුවෙන් ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා ඇති බව lanka truth වෙබ් අඩවිය වාර්තා කරයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් ජනතාව තුළ මතවාදය ගොඩනැගීමට මූලිකවූ භික්ෂූන්වහන්සේලා අතර පෙරමුණේ සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද , ඇල්ලේ ගුණවංශ , ඕමාරේ කශ්‍යප හිමි, මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන් මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමට බදු දීමට එරෙහිව දැඩි විරෝධයක් දක්වනු පෙනෙන්නට ඇති බවත් එම පුවතේ සඳහන්ය.
මාස කිහිපයක සිට එම භික්ෂුන්වහන්සේලා රාජපක්ෂ ආණ්ඩුවේ විවිධ ක්‍රියාකාරිත්වයන් පිළිබඳව ප්‍රකාශ නිකුත් කරමින් සිට මේ වනවිට ප්‍රසිද්ධියේ විරෝධතාවලට එක්වෙමින් සිටින බවද එහි සඳහන්ය.
කෙසේවුවත් යහපාලන සමයේ හම්බන්තොට වරායම 99 අවුරුදු බදු ගිවිසුමකට චීනයට පවරන අවස්ථාවේ මෙතරම් භික්ෂු විරෝධයක් දක්නට නොලැබීම විශේෂය.
එසේම වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුණේ ඉන්දියාවට නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කරන ලෙස ආරාධනා කරේ තමන් බවය.
එහෙත් ඒ නොතකා වරාය සම්බන්ධව ආණ්ඩු හිතවාදී භික්ෂු බලවේග අතර දැඩි විරෝධයක් ගොනුවනු පෙනෙන්නට ඇත.

