සෑම දිස්ත්‍රික්කයකටම කසලවලින් විදුලිය නිපදවීමේ බලාගාරයක්

සෑම දිස්ත්‍රික්කයකටම කසලවලින් විදුලිය නිපදවීමේ බලාගාරයක්

පාරිසරික වශයෙන් ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක්ව පවතින කසල, ආර්ථිකයට ශක්තියක් මෙන්ම සමස්ත රටට වැඩදායි අංගයක් බවට පත් කරමින් විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක්, ලබන මස මුලදී ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  පවසයි.

පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට සහභාගි වෙමින්, අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

දෛනිකව කුණු ටොන් 700 ක් පමණ යොදා ගනිමින් මෙගාවොට් 10ක පමණ ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට දායක කිරීම සදහා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ පළමු බලාගාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ හැඳල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ලබන මස මුලදී ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

පසුව සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් දියත් කිරිමට නියමිත මෙම විදුලි බලාගාර ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරකරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කිරිමට තමා අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් දී ඇති බව, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයන්හි දෛනිකව ඉවතලන ද්‍රව්‍යයන් එක්රැස් කොට මෙම බලාගාර පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පොසිල ඉන්ධනවලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ ජාතික ඉලක්කය ජයගැනීම වෙනුවෙන් විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කර ඇත. සෞභාග්‍යයේ දැක්ම කරා රට ගෙනයන ගමනේ මංපෙත් විදුලියේ එළියෙන් ඒකාලෝක කරන්නටත්, විදුලි පාරිභෝගිකයන්හට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම ලාභදායි සේවාවක් හිමිකර දීමටත් තමා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කැපවි කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් එල්ලවන අභියෝගයන් ජය ගැනීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ සෙසු ආයතනයන්ගේ සහාය ලැබී තිබෙන බවද පවසයි.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි ඉහළම විශ්වාසයක් තබා ඇති බැවින්, සෞභාග්‍යය කරා රට ගෙනයන ගමනේ පෙරගමන්කරු වශයෙන් විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යභාරය මැනවින් වටහාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවන අතරතුර, පාරිසරික වශයෙන් මේ වනවිට ව්‍යසනයක්ව ඇති කසල යොදාගනිමින් විදුලි උත්පාදනයට ඇති හැකියාව පිළිබදව විදුලි ක්ෂේත්‍රයේ අවධානය යොමුවී ඇතැයි පවසන අමාත්‍ය අලහප්පෙරුම, ඒ තුළින් පාරිසර දූෂණයෙන් තොර අලංකාර රටක් බිහිකිරීමේ සත් කාර්යයටද විදුලිබල ක්ෂේත්‍රයට දායකවිය යැකි බව ද වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න