කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාව එළඹෙන සඳුදා (පෙබරවාරි 01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධව lanka truth වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික අධීක්ෂණය මත මෙම කැබිනට් පත්‍රිකාව කෙටුම්පත් කෙරෙන බවය.
එසේම නැගෙනහිර ජැටියේ 49% කොටස ඉන්දියාවේ අදානී සමාගම, ඊට අනුබද්ධ ලංකාවේ සමාගමක් සහ ජපාන සමාගමක් අතර බෙදීයාමට නියමිත බව ජනාධිපතිවරයා පසුගියදා පවසා සිටි බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.
the leader වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ , "කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා එහි කොටස්වලින් 49%ක් ඉන්දිය සමාගමකට ලබාදීම සඳහා වූ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි." යනුවෙනි.
එසේම "ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් සිය එකඟතාවය මේවනවිටත් ඉන්දියාව වෙත ලබා දී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි." යනුවෙන්ද එම පුවතේ සඳහන්ව ඇත.
ආන්දෝලනාත්මක තත්ත්වයක් !
මේ වන විටත් වරාය වෘත්තීය සමිති ප්‍රසිද්ධියේ අන්තර්ජාල නාලිකා හමුවේ සඳහන් කර ඇත්තේ, මෙම නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගිවිසුමට අගමැති මහින්ද රාජපක්ෂ විරුද්ධ බවත් තමන්ටද ඊට විරුද්ධ වන ලෙස පැවසු බවත්ය.
වඩාත් විශේෂ සිදුවීමක් වන්නේ වරායේ පොදුජන පෙරමුණ වෘත්තීය සමිති නායකයන් මේ බව පැවසීමය. කෙසේ වුවත් පසුගියදා ජනාධිපති සහ වරාය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුණේ ඉන්දියාවට නැගෙනහිර ජැටියේ ආයෝජනය කිරීමට ආරාධනා කර සිටියේ තමන් බවය.
ඒ අනුව පෙනෙන්නට ඇති ආකාරයට නම් නැගෙනහිර ජැටිය සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවර දෙකක් ඇත.
මේ අතර ආණ්ඩුව නියෝජනය කරන ජාතිවාදී සංවිධාන සහ ආණ්ඩු හිතවාදී භික්ෂුන් මේ වන විට දිගින් දිගටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අනතුරු අඟවමින් වරාය ජැටිය ඉන්දියාවට පැවරීම සම්බන්ධව විරෝධය දක්වමින් සිටියි.
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකල මැදගොඩ අභයතිස්ස හිමි පසුගියදා ජනාධිපතිව හඳුන්වා තිබුණේ රාවණගේ මල්ලි වූ විභීෂණට සමාන කරන ව්‍යංගාර්ථ ඇතිවය.
කෙසේ වුවත් මේ දෙපාර්ශවය අතරමැද එකඟතාවක් නොමැති ආකාරයට මේ වන විට අදහස් හුවමාරු කරගනිමින් ඇති අතර ජනතාවට සිදුව ඇත්තේ බලාගෙන සිටීම පමණය. කොහොමටත් වරායක් නිසා ආණ්ඩුවක් කඩන දේශපාලනයක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතැයි සිතීම දුෂ්කරය.

