වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතින බවත් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති බවත් බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.
සංවිධානාත්මක පිරිසක් විසින් දිළිඳු පුද්ගලයින් යොදාගෙන රක්ෂිතය එලි කරවා ඔවුන්ට මුදල් දී එම ස්ථානයෙන් ඉවත් කර බලපත්‍ර සාදමින් තම අයිතිය පවසන බවත් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියි .
මේ සඳහා රජයේ කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ගේ සහයෝගයද ලබා ගන්නා බව සඳහන් කරන බොදුබල සේනා සංවිධානය අදාළ
වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරිතවූ බවත් පවසයි.
නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය යටතේ මං මාවත් සකස්කර, හොර ඔප්පු සාදා මහා රක්ෂිතය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු කර ඇති බවත් පුරාවස්තුවලින් ගැවසුණු විශාල භූමියක සියලුම පුරාවස්තු විනාශ කර ඇති බවත් එහි ගිය ඥානසාර හිමියෝ සඳහන් කල බවත් බොදුබල සේනා සංවිධානය පවසයි.
මෙම සිදුවීම්වලට විරුද්ධව වන සංරක්ෂණ හෝ වනජීවී දෙපාර්තමේන්තු මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග කුමක්දැයි ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි අනවසරයෙන් අදාළ ප්‍රදේශයේත් නොවන පුද්ගලයින් පැමිණ සිදුකරන වනාන්තර විනාශය වැලක්වීමට වහා පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වෙයි.




