Language Switcher

V2025

භාණ්ඩ 27ක මිල පෙන්නා බන්දුල ගැහුවේ ගේමක් : සාක්ෂි එක්ක ජනාධිපතිට පැමිණිල්ල සූදානම් !

එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා ස්ථාවර මිලක් යටතේ ලබාදීම සිදුකරන බව  වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  පවසා සිදුකරන්න යන කටයුත්ත මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමග යැවූ තවත් ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ගරානාවකට ඉඩ සැලසීමක් බවට බරපතළ චෝදනාවකට ලක්ව සිටියි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග මෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සීනි බදු වංචාව හමුවේ සතොසට පාඩුවූ බව කැම්පේන් කර සතොස හිටපු සභාපති ගෙදර යවාගත් අමාත්‍යවරයා ඊට නොදෙවෙනි ලෙස මෙම කටයුත්ත හරහා  සතොසට පාඩු කිරීමට නියමිත බවයි.

වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවය. 

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මුළුමනින්ම උල්ලංඝනය කරලා !

ඒ අනුව අදාළ භාණ්ඩ 27 සඳහන් මිල දර්ශනයක් ද  අද (05) ප්‍රසිද්ධ කර ඇත. නමුත්  මේ කටයුත්ත සිදුවනුයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මුළුමනින්ම උල්ලංඝනය කරමින් බවත් සඳහන් කරන අප ආරංචි මාර්ග මතුව ඇති අර්බුදය මෙසේ දක්වයි.

සාමාන්‍යයෙන් ත්‍රිවිධ හමුදාවට සහ විශාල ප්‍රමාණයක් පරිභෝජනය වන ආයතන වෙනුවෙන් වාර්ෂික පදනමින් මිල නිශ්චිත කර භාණ්ඩ මිලදී ගැනීම සිදුකරයි.

නමුත් සතොස වැනි ව්‍යාපාරික කටයුත්තක නිරත ආයතනයකට මේ ක්‍රමය කිසිසේත් නනොගැලපෙන්නකි. ඒ නිතර වෙළෙඳපොළ මිල  උච්චාවචනයන් සිදුවන නිසාය.

ඒ අනුව ඉදිරියේදී යම් භාණ්ඩ ප්‍රමාණයක තොග මිල කොතරම් පහළට වැටුණත් ගිවිසුම අනූව ඉහළ මිල මත   භාණ්ඩ මිලදී ගැනීමට සතොසට සිදුවෙයි.

එසේම මාස 3ක කාලයක් සඳහා මේ ස්ථාවර මිල ගිවිසුම ඇතිකර ගන්නට අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල අනුමැතිය ගත්බැව් පවසන නමුත් අමාත්‍යවරයාගේ අදහස අනූව  මිලදී ගැනීම සඳහා වන ගිවිසුම දීර්ඝ කිරීමටද මුක්තිය ලබාගෙන ඇත.

ඒ අනුව මේ තෝරාගත් භාණ්ඩ මිල කිසිම අවස්ථාවක වෙළෙඳපොළ තත්ත්වය යටතේ පවා අඩු කිරීමට අවස්ථාවක් හිමි නොවනු ඇත.

භාණ්ඩ ගන්නේ  තෝරාගත් ව්‍යාපාරික පිරිසක් වෙතින් අත්පිට මුදලට !

තවද සාමාන්‍යයෙන් සතොස ආයතනය තොග වෙළෙන්දන් වෙතින් කිසියම් භාණ්ඩ තොග මිලදී ගැනීම සිදුකරන්නේ සති 2-3ක කාලයක් තුළ ගෙවීමට හැකි ආකාරයට චෙක්පත් ලබාදීම හරහා ය. 

නමුත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ ගිවිසුම සකස්කර ඇත්තේ අත්පිට මුදලට භාණ්ඩ මිලදී ගන්නා ආකාරයටය. ඒ අනුව තෝරාගත් ව්‍යාපාරික පිරිසට වෙළෙඳපොළ මිල නොතකා කටයුතු කිරීමට අවස්ථාව සලසාදීමක් සිදුකර ඇත.

අද මිල ගණන් වෙනස් කරලා : කැබිනට් එකටත් කොලේ වහලා ගහලා !

තවද මේ ගිවිසුම සඳහා පවතින තොග මිල ලෙස අමාත්‍යවරයා දක්වා ඇති මිල ගණන් නිවැරැදි නොවන බවත් දැනගන්නට ඇත.

වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පවතින තොග මිල සහ අමාත්‍යවරයා දක්වා ඇති මිල ගණන් අතර සැලකිය  යුතු වෙනසක් පවතී.

බන්දුලගේ මිල සහ අද මිල අතරේ වෙනස මෙන්න !

වෙළෙඳපොළ ආරංචි මාර්ග ඒ මිල වෙනස මෙසේ දක්වයි.

 අද දිනය වන විට  රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 84.00 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 91.00 කි.

අද දිනය වන විට  බී ලූනු  කිලෝවක තොග මිල රුපියල් 64.00 -65.00 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල බී ලූනු  කිලෝවක් සඳහා රුපියල් 100.00 කි.

අද දිනය වන විට  කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 108.00 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල කීරි සම්බා  කිලෝවක් සඳහා රුපියල් 122.00 කි.

අද දිනය වන විට ආනයනික   ඕස්ට්‍රේලියානු පරිප්පු  කිලෝවක තොග මිල රුපියල් 151.40 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල ආනයනික ඕස්ට්‍රේලියානු පරිප්පු  කිලෝවක් සඳහා රුපියල් 160.00 කි.

අද දිනය වන විට කඩල කිලෝවක තොග මිල රුපියල් 135.00 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල කඩල කිලෝවක් සඳහා රුපියල් 150.00 කි.

අද දිනය වන විට දේශීය ටිං මාලු තොග මිල රුපියල් 198.00 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල දේශීය ටිං මාලු සඳහා රුපියල් 210.00 කි.

අද දිනය වන විට ආනයනික ටිං මාලු තොග මිල රුපියල් 250.00 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල ආනයනික ටිං මාලු සඳහා රුපියල් 255.00 කි.

අද දිනය වන විට හාල්මැස්සෝ  කිලෝවක තොග මිල රුපියල් 443.00 කි. නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල හාල්මැස්සෝ  කිලෝවක් සඳහා රුපියල් 475.00 කි.

සතොස පරමාර්ථය මේකද ?

ඒ අනුව වෙළෙඳපොළ විශ්ලේෂකයන් ප්‍රශ්න කර සිටින්නේ පාරිභෝගිකයන් වෙත සහන සැලසීමට නම් එය  සමස්ථ වෙළෙඳපොළ තුළ මිල අඩු කිරීමට තරග කරනවා වෙනුවට තෝරාගත් ව්‍යාපාරික නඩයක් සඳහා ස්ථාවර මිලකට භාණ්ඩ මිලදී ගැනීම හැර වෙනත් කිසිම විකල්පයක් අමාත්‍යවරයාට නැද්ද යන්නය.

සීනි මිල පාලනයත් නැති කරලා : මුදල් අමාත්‍ය  අගමැති මහින්දත් අමාරුවේ දාලා !

තවද ආනයනික සීනි සඳහා මේ වන විට පාරිභෝගික අධිකාරිය විසින් කිලෝවක් සඳහා රුපියල් 85.00 ක ස්ථාවර මිලක් නියම කර ඇත. තවමත් ඊට අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කර නොමැති නිසා සිදුවිය යුතුව ඇත්තේ සුදු සීනි කිලෝවක් රුපියල් 85.00 ට පාරිභෝගිකයන් වෙත නිකුත්කරලීමට සතොස හෝ ක්‍රියාත්මක වීමය. 

නමුත් මේ නව මිල තුළ ආනයනික සීනි මිල රුපියල් 85.00 ට නොමැති අතර ඒ හරහා පසුගිය සමයේ මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකළ සීනි බදු සංශෝධනය හරහා හිතමිත්‍ර ව්‍යාපාරික සමාගමකට සීනි ඒකාධිකාරය හරහා අයුතු ලාභ ලැබීමට අවස්ථාව දුන් බවට වන චෝදනාවත් ඔප්පු වෙන තත්ත්වයක් මතුව ඇත.

මේ සම්බන්ධව චෝදනා කළ පිරිස සඳහන් කරේ, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ පැමිණිල්ලේ සඳහන් වුණේ සීනි බදු සංශෝධනය යටතේ රාජ්‍ය ආදායමට රුපියල් කෝටි 1000කට අධික පාඩුවක් සිදුවූ බවය.

ඒ අනූව පාරිභෝගික මිල සහනය සීනි බදු සංශෝධනය යටතේ හිමි නොවූ බව සහ පාරිභෝගික අධිකාරියේ ගැසට් පත්‍රය නොතකා ගජමිතුරු ව්‍යාපාරික වළල්ල අයුතු ලාභ උපයන බව තහවුරු කර ඇති බවත් වෙළෙඳපොළ විශ්ලේෂකයන් දක්වයි.

ජනාධිපතිට පැමිණිල්ලක් සූදානම් !

මේ අතර තොග වෙළෙන්දන් පිරිසක් සමග සිදුකළ සාකච්ඡාවකින් පසුව රාජ්‍ය ආදායම් අර්බුදය , පාරිභෝගික ජනතාව වෙත සහන දීම මුවාවෙන් සිදුවන සැකසංකා දනවන මේ කටයුතු සහ ඒ තුළ ආණ්ඩුව තවදුරටත් අපකීර්තියට පත්වීම ගැන ආණ්ඩුවේ පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැමිණිලි කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බවත් වාර්තා වෙයි.

යන්න සඳුදා සිට - බන්දුල ඇමතිගේ මිල දර්ශනයට භාණ්ඩ මිලදී ගන්න !

 කෙසේ වුවත් මේ වන විට භාණ්ඩ 27ක් සඳහා මාස 3ක් වෙනුවෙන් වන මිල සහනයක් සඳහන් මිල දර්ශනයක් අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධ කර ඇති අතර එය පහත දැක්වෙයි.

රතු කැකුළු 1Kg - (නව මිල) රුපියල් 93 -  (පැවැති මිල) රුපියල් 106
සුදු කැකුළු 1Kg -  (නව මිල) රුපියල් 93 - (පැවැති මිල) රුපියල් 105
සුදු නාඩු 1Kg  -  (නව මිල) රුපියල් 96 - (පැවැති මිල) රුපියල් 109
සම්බා 1Kg -  (නව මිල) රුපියල් 99 - (පැවැති මිල) රුපියල් 120  
කීරි සම්බා -  (නව මිල) රුපියල් 125 - (පැවැති මිල) රුපියල් 140
තිරිඟු පිටි -  (නව මිල) රුපියල් 84 - (පැවැති මිල) රුපියල් 105
සුදු සීනි -  (නව මිල) රුපියල් 99 - (පැවැති මිල) රුපියල් 110
දුඹුරු සීනි - (නව මිල) රුපියල් 125 - (පැවැති මිල) රුපියල් 140 
තේ කොළ (100g) -  (නව මිල) 95 - (පැවැති මිල) රුපියල් 130
රතු පරිප්පු (Australia) 1kg - (නව මිල) රුපියල් 165 - (පැවැති මිල) රුපියල් 188
ලොකු ළූණු ඉන්දියන් 1kg - (නව මිල) රුපියල් 120 - (පැවැති මිල) රුපියල් 140
අර්තාපල් දේශීය 1kg - (නව මිල) රුපියල් 180 - (පැවැති මිල) රුපියල් (216 - 220) 
අර්තාපල් (Pakistan) 1kg -  (නව මිල) රුපියල් 140 - (පැවැති මිල) රුපියල් 190
කඩළ 1kg - (නව මිල) රුපියල් 175 - (පැවැති මිල) රුපියල් 225 
වියළි මිරිස් 1kg - (නව මිල) රුපියල් 495 - (පැවැති මිල) රුපියල් 550 
ටින් මාලු දේශීය 425g - (නව මිල) රුපියල් 220 - (පැවැති මිල) රුපියල් 240
ටින් මාලු ආනයනික 425g - (නව මිල) රුපියල් 265 - (පැවැති මිල) රුපියල් 280
හාල්මැස්සන් තායි 1kg - (නව මිල) රුපියල් 545 - (පැවැති මිල) රුපියල් 700
කුකුල් මස් සම සහිත - (නව මිල) රුපියල් 400 - (පැවැති මිල) රුපියල් 430
ලුණුකැට 1kg - (නව මිල) රුපියල් 43 - (පැවැති මිල) රුපියල් 55 
කිරි පිටි 400g - (නව මිල) රුපියල් 355 - (පැවැති මිල) රුපියල් 380 
සෝයා තෙල් 500ml - (නව මිල) රුපියල් 310 - (පැවැති මිල) රුපියල් 470  
රෙදි සෝදන සබන් (BCC) 115g - (නව මිල) රුපියල් 43 - (පැවැති මිල) රුපියල් 53
රෙදි සෝදන සබන් 650g - (නව මිල) රුපියල් 260 - (පැවැති මිල) රුපියල් 325
සුවඳ සබන් 100g - (නව මිල) රුපියල් 56 - (පැවැති මිල) රුපියල් 63
දෑත් සෝදන දියර 100ml - (නව මිල) රුපියල් 250 - (පැවැති මිල) රුපියල් 350
මුඛ ආවරණ (SLS සහතික ලත්)  - (නව මිල) රුපියල් 14 - (පැවැති මිල) රුපියල් 25