මාස 11 කින් ඉන්ධන ආනයන බිල ගෙවලා නෑ : රුපියලේ වැටීම බිහිසුණු තැනක - චම්පික

 මාස 11 කින් ඉන්ධන ආනයන බිල ගෙවලා නෑ : රුපියලේ වැටීම බිහිසුණු තැනක - චම්පික

  රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කිසිම ආකාරයකට පාලනය කළ නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිළි කරමින්  ශ්‍රී ලංකා  රුපියල ඩොලරය හමුවේ ඉතා බිහිසුණු ලෙස ඇද වැටීමට නියමිත යයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරටට ඉන්ධන ආනයන බිල මාස 11ක් තිස්සේ ගෙවා නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා  මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

මහ බැංකුවේ ඩොලර් සංචිත භයානක ලෙස ඇද වැටෙයි !

සියලු බැංකුවලට ඩොලර් වලින් ලබාදෙන ප්‍රේෂණ වලින් 10% ක් මහ බැංකුවට ලබාදෙන ලෙස නියෝගයක්.

2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු මහ බැංකුවේ අඩුම ඩොලර් සංචිතය දැන් වාර්තා වෙනවා. එයට හේතුව මේ වසරේ ගෙවීමට නියමිතව නොතිබුණත්, ඉන්දියාව විසින් පසුගියදා ඩොලර් හුවමාරුවක්, එහෙමත් නැත්නම් Currency Swap එකක් මඟින් අපට ලබාදුන් ඩොලර් මිලියන 400 ආපසු ගෙවීමට ලැබුණු බලකිරීම මත එම ඩොලර් 400 අපගේ සංචිත වලින් ගෙවීමට මහ බැංකුව ක්‍රියාකිරීමයි.

මේ අනුව එදා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අපේ පාලන සමයේ ඉතා අපහසුවෙන් ගොඩනගන ලද ඩොලර් බිලියන 7.2 ක සංචිතය (2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු, එනම් යුද්ධයේ අවසාන වකවානුවෙන් පසු ඩොලර් බිලියන 05 ට වඩා අඩු වුණා) දැන් නැවතත් ඩොලර් බිලියන 05 ට වඩා අඩු ගණනකට ඇදවැටී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

අපට මේ වසරේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 ක්. ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 400 ත් එක්ක එය ඩොලර් බිලියන 7.3 ක්. ඩොලර් බිලියන 7.3 ක් ගෙවීමට අප අතැතිව ඇත්තේ ඩොලර් බිලියන හතරයි ගණනකි. මේ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ අරමුදල් අර්බුදයක ගැටගැසී තිබෙනවා.

විශේෂයෙන්ම ආනයන සීමා කරමින්, සංවර්ධනය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ පවා සීමා කරමින්, මාස 11 ක ඛනිජ තෙල් බිල නොගෙවා සිටීමෙන්, (එතැන තියෙනවා ඩොලර් මිලියන 2600 ක්) තමයි මේ තත්ත්වය ළඟාකරගෙන තිබෙන්නේ. තව දුරටත් මේ තත්ත්වය පවත්වාගත හැකිද ? එසේ නැත්නම් කොටස් වෙළෙඳපොළට සිදුවූ ආකාරයටම රුපියල බිහිසුණු ආකාරයට ඉදිරි කාලයේ ඩොලරයට සාපේක්ෂව ඇද වැටීමට ඉඩ ඇති බවයි මෙයින් පෙනී යන්නේ.

රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කිසිම ආකාරයකට පාලනය කළ නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිළියි. රට බේරා ගැනීමට, ආර්ථිකය බේරා ගැනීමට, ජනතාව බේරා ගැනීමට කුසලතාවය, නිපුණතාවය සහිත නව පරපුරක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැන් දැනෙමින් තිබෙනවා.

– පාඨලී චම්පික රණවක FB

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න