Language Switcher

V2025

විමල්ගෙන් සැර ප්‍රතිචාරයක් : වාසුට කුණු බැනුම් : විමල් එළවන්න ජනපතිටත් බලපෑම් !

2015 දී සිදු වූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා කැපවීම වරදක් නම් ඒ සඳහා සමාව ගැනීමට තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමක් තමන් අදහස් නොකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීම කළ යුතු බව පමණක් තමන් පැවසූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එක් පක්‍ෂයක් ගැන අදහස් පල කිරීම තවත් පක්‍ෂයක් සිදු කිරීම දේශපාලනයේදී සාමාන්‍ය බවත් එය ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බවද ඔහු කියා සිටියේය.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (09) මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

අගමැති කැඳවූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුව ගාලගෝට්ටියක් !

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රදානයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැඩි උණුසුම තත්ත්වයට පත්වී ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍ය විමල් වීරවංශ  සම්බන්ධයෙන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ. විමල් වීරවංශ අමාත්‍යවරයා  මෙම රැස්වීමට සහභාගී වී නැත්තේ ඔහුට අධිකරණ කටයුත්තක් සඳහා යාමට ඇති බව දැනුම් දෙමිනි.

විමල් හෝදන්න ගිය වාසුට කුණු බැනුම් !

මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයා නොමැතිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවේදී අමාත්‍යවරුන් ඔහුට චෝදනා කිරීම සුදුසු නැති බව පැවසීම හේතුවෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කුණු බැනුම් ඇසු පුවතක් සම්බන්ධව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

ඊට අදාළව ලංකා සී නිව්ස් වාර්තා කර ඇත්තේ වෙනත් අමාත්‍යවරයෙකු වාසුදේව අමාත්‍යවරයාට පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවය.

පවුල සහ පක්ෂය පරිස්සම් කරගන්න - ලන්සා 

මේ අතර පොදුජන පෙරමුණ ආණ්ඩුවේ රාජ්‍ය  අමාත්‍යවරයෙකු වූ නිමල් ලන්සා පවසන්නේ  පොදුජන පෙරමුණ ගැන අදහස් දැක්වීමට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයා තම පවුල සහ පක්ෂය හදා පාලනය කරගන්න කටයුතු කළ යුතු බවය.

ආණ්ඩුව තුළ සිට කටයුතු කිරීමට නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවත් ඔහු පැවසූ අතර ඒ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.

විමල් එළවන්න : ජනාධිපතිටත් බලපෑම් !

මේ අතර ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ,  අමාත්‍ය විමල් විරවංශ වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙසට පවුලේ සාමාජිකයින්ගෙන් හා පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන බවය.

එවැනි බලපෑමක් එල්ල වී ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදිය යුතු බවට විමල් විරවංශ අමාත්‍යවරයා පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට ලබාදී තිබු සම්මුඛ සාකච්ඡාව  සම්බන්ධව බවත් එම ප්‍රකාශයට එරෙහිව එල්ලවෙමින් තිබෙන බලපෑම් හමුවේ ජනාධිපතිවරයා බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එම  ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන බවත් එම පුවතේ සඳහන් කර ඇත.