Language Switcher

V2025

ආණ්ඩුවට එරෙහිව මෛත්‍රීත් : දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන් වෙනුවෙන් පෙරටම !

ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අති දුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදීම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව තමන්  හට හැඟී ගිය කරුණක් බවත්  එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසිලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කොට සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මේ වන විට සසුන්ගත කර ඇති අදාළ ශාකය  ඇති ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.

සිරිසේනගේ ෆේස්බුක් සටහන !

නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන "පණු කරද" හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට සහ මෙම ශාකය අද මුහුණ පා තිබෙන තර්ජනය පිළිබදව මා හට නිසි අවබෝධයක් ලබාගැනීමට එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන  ලදී.

ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අති දුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදීම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව මා හට හැඟී ගිය කරුණකි. එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසිලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කොට සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස මා විශ්වාස නොකරමි.

මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ශාකයේ වටිනාකම සහ දුර්ලභත්වය සැලකිල්ලට ගෙන මතු අනාගත දරුවන් වෙනුවෙන් මේ මහා වෘක්ෂය ආරක්ෂා කොට අධිවේගී මාර්ගය ඉදි කරනවා නම් එය මුළු මහත් පරිසරයටම සිදුකරන ගෞරවයක් ලෙස මා මතක් කර දීමට කැමැත්තෙමි. මෙම ශාකය හඳුනාගත් සහ ශාකය ආරක්ෂා කිරීමට කැපවූ ගරුතර මහා සංඝරත්නයට, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන් හට  පරිසරයට ආදරේ කරන නායකයකු ලෙස මා ගෞරව කර සිටිමි.

හිටපු ජනාධිපති වෙනමම ගමනක !

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිටින නමුත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති වෙනම දේශපාලන අදහසක් ඇතුලේ කටයුතු කරන බවක් පෙන්නුම් කරන බව විචාරක මතය වී තිබේ. ආණ්ඩුව සූදානම් වූයේ අදාළ ශාකය වෙනම ස්ථානයකට ගෙනයාම බවත් ඊට එරෙහි මතය පෝෂණය කිරීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකර ඇති බවත් විචාරකයන් දක්වයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් පරිසරය විනාශ කරන බවට දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය ඇතුළු පරිසරවේදීන් තුළ පවතින මොහොතක මේ ප්‍රකාශ ආණ්ඩුවට සෘනාත්මක බලපෑමක් සිදුකරන බවයි.

ජැටිය විරෝධයේ සිට මේ දක්වා වැඩ ටික !

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධව මතුවූ අර්බුදය හමුවේ ද  හිටපු ජනාධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එරෙහි ස්ථාවරයක සිට වරාය ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙත සහය දැක්වූ බවය.

එමෙන්ම මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ මතුව ඇති බැසිල් රාජපක්ෂ විරෝධය තුළ විමල් වීරවංශ ඇතුළු ජාතිකවාදී කොටස් නියෝජනය කරන පාර්ශ්වය වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බවක් පෙන්නුම් කරන අතර දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා එකීීී සාකච්ඡා සඳහා සහභාගි කරවීම ඊට සාක්ෂි දරන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.