Language Switcher

V2025

අර්ජුන් එනතුරු ඇලෝ ඇතුළේ : රතු වරෙන්තුවටත් බාධා !

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඉන්ටර්පෝල් ආයතනය හරහා රතු වරෙන්තුවක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි දුෂ්කරතාවක් මතුව ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.
 
වාර්තා වන ආකාරයට මෙසේ රතු වරෙන්තුවක් ලබා ගැනීම දුෂ්කරව ඇත්තේ එය නිකුත් කිරීමට පෙර අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස වන දැනුම්දීම එම දෙපාර්තමේන්තුව විසින් විධිමත්ව සිදුකර ඇති බව සනාථ කිරීමට නොහැකිව ඇති නිසාය.
 
කෙසේ වුවත්  බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ මාර්තු මස අට වෙනි දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ උත්තරයක් දෙන ලෙස දන්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත සීඝ්‍රගාමී තැපෑලෙන් සහ 'කූරියර්' සේවාව මගින් සිතාසි යැවීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග නිකුත් කර ඇත. 
 
කුරියර් සිතාසිය හැරී එයි
 
එම නියෝගය අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පුරු ලිපිනයකට සිතාසිය ජාත්‍යන්තර කුරියර් සේවයක් හරහා යැවීමට කටයුතු කරනු ලැබුවත් පසුව අනාවරණය වුයේ අදාළ සිතාසිය භාරදීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ලිපිනයේ පදිංචිව නොමැති බවය.  ඒ අනුව අදාළ කුරියර් සේවාව එම සිතාසිය පෙරළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.
 
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පෙබරවාරි 15 දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එහි සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන්ට මින් පෙරත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි. එහෙත් ඒ අවස්ථාවේ ඔහු ඊට ඉදිරිපත්වුයේ නැත. ඒ එවන විට ඔහු විදෙස් ගතව සිටි නිසාය.
 
මහේන්ද්‍රන්ගේ පෙර වැරදි නෑ
 
මේ ආකාරයට අධිකරණය සිදුකල දැනුම්දීම නිසිලෙස අදාළ පාර්ශවයට ලබාදීමට නොහැකිව ඇති බැවින් ඔහු අධිකරණය මඟහැර ඇති අයෙකු බව ඔප්පු කිරීම දුෂ්කරව ඇති අතර මීට පෙර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව සිදුකළ විමර්ෂණ සඳහා සිදුකළ කැඳවීම් වලට අඛණ්ඩව අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගීවී ඇති බැවින් ඔහු දිගින් දිගටම නෛතික කටයුතු වලට සහය නොදක්වන්නෙකු ලෙස නම් කිරීමටද නොහැකිව ඇත.
 
කෙසේ වුවත් අධිකරණ නියෝගය ක්‍රියාවට නැගීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් දැනට සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා නිල් වරෙන්තුවක් ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී ඇත. 
අර්ජුන් එනතුරු ඇලෝ ඇතුලේ : 15 දක්වා රිමාන්ඩ් 
 
එසේම පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය අද (02) නියෝග කර ඇති බව වාර්තා වෙයි.
 
තවද හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේද්‍රන් මහතාට ලබන 08 වන දින හෝ ඊට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  වන දැන්වීම කුරියර් සේවාව හරහා සිංගප්පූරුවේ ඔහු පදිංචි ලිපිනයට භාරදිමට උත්සහ කළ ද එම නිවස වසා දමා ඇති බවට නීතිපති පාර්ශවය අද අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වෙයි.