Language Switcher

V2025

ශ්‍රිලනිපයේ තවත් නිවේදනයක් : ශ්‍රිලනිප හැසිරීම හාස්‍යජනකයි - පොහොට්ටුවෙන් ප්‍රතිචාර !

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව එම කොමිසම පත් කළ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් ප‍්‍රතික්ෂේප කිරීම හාස්‍යජනක බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රිලනිප නිවේදනයක් ! 

කෙසේ වුවත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය සදහා පත්කල ජනාධිපති ‍කොමිෂන් සභාවේ වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබද ශ්‍රී ලංකා නිදහස්පක්ෂ‍යේ සමස්ත ලංකා විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කර නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ නිවේදනය අද (26) නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

2019 අප්‍රෙල් 21 දින ලංකාවේ කතෝලික ජනතාව සහ විදේශ සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද චිරස්ථීන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ සමස්ථ කතෝලික බැතිමතුන් සහ ඔවුන්ගේ ආදරණීයන් මෙන්ම, කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයක් තුළ සිදුවූ  ප්‍රහාරය තුළින් මියගිය හා තුවාල ලැබූවන් සහ ඔවුන් වෙනුවෙන් ශෝක වන්නන් පිළිබඳවද අප පක්ෂය හා එහි සාමාජිකත්වයේ දැඩි සංවේගය පළමුව එම සියලු දෙනා වෙත පළ කර සිටිමු. එසේම එම සියලු දෙනා වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතු බවද දැඩිව අවධාරණය කරමු. 

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශයන් පිළිබඳවද, විශේෂයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව එම වාර්තාවේ සඳහන් කරුණු හා නිර්දේශයන් පිළිබඳව අද දින පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සිය දැඩි අවධානය යොමු කරන ලදී.

ඉහතින් සදහන් කරන ලද මෙම ප්‍රහාරය පිළිබදව කරුණු විමර්ශනය කර වාර්තා කිරීම සදහා ජනාධිපති කොමිෂන් සභාව අප පක්ෂයේ නායක හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 සැප්තැම්බර් 22 දින පත් කරනු ලැබූයේ මූලික අපේක්ෂාවන් කිහිපයක් ‍පෙර දැරි කරගෙනය. පහත කරුණු ඒ අතර ප්‍රධාන විය.

  • මෙම ප්‍රහාරය පිටුපස වූ දේශීය හා විදේශීය බලවේග හදුනාගැනීම.
  • එකී බලවේගවල ප්‍රමුඛ අරමුණු හා ප්‍රාර්ථනා තේරුම් ගැනීම.
  • මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාවට නැංවීම සදහා සෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයූ පුද්ගලයින් හෝ කණ්ඩායම් පවත්නා නීතිය හමුවට පැමිණවීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.

කෙසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙ‍්න මැතිතුමාගේ ධුර කාලය අවසන් කිරීමට පෙර එම වාර්ථාව අවසන් කර ඉදිරිපත් නොවූ අතර, ඉන්පසු ජනාධිපති තනතුර සදහා පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ එම කොමිෂන් සභාව ක්‍රියාත්මක විය. කොමිෂන් සභාව විසින් පළමු අතුරු වාර්ථාව 2019 දෙසැම්බර් 20 දිනද, දෙවන අතුරු වාර්ථාව 2020 මාර්තු 02 දිනද භාරදෙන ලද අතර අවසන් වාර්ථාව 2021 පෙබරවාරි 01 දිනද භාර දී ඇත. එම වාර්ථාව පිටු 472කින්ද ඇමුණුම් 215කින් හා වෙලුම් 06 කින් සමන්විතය.

කෙසේ වෙතත් මේ දක්වා මෙම වාර්තාව පුළුල් මහජන පරිශීලනය සදහා විවෘතව නොමැත.

මෙම කාර්ය්‍ය සිදුවන්නේ මෙම වාර්ථාවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පීළිබද සොයාබැලීම සදහා පත්කල පාර්ලිමෙන්තු කාරක සභාව පිළිබදවද විශාල සමාජ කතිකාවතක් ඇතිව තිබෙන මොහොතකය. දැනටමත් සමගිජන බලවේගය ජනතාවිමුක්ති පෙරමුණ හා මෙරටේ ගරුතර මහා සංඝරත්නය පාස්කු ‍කොමිෂන්සභා වාර්තාව අසම්පූර්ණ බවද කොමිෂන් සභාව පත්කිරීමෙන් බලා‍පොරොත්තුවු කාරණා ඉටු නොකල බව ප්‍රකාශයට පත්කර ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද විධායක සභාවද වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබදව වාර්තාවන කරුණු දැඩිව සංවාදයට බදුන්කරමින් සිටින අතර එහිදී පහත කරුණු අප අවධානයට ලක්ව ඇත මෙම කොමිෂන් සභාව ස්ථාපිත කල අරමුණු සාධනය සඳහා සාධනීය පිළිතුරු නිගමන හා නිර්දේශ මෙම වාර්ථාවේ අඩංගු නොවන බව අප පක්ෂයේ පොදු මතය වේ.

  • මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙදී ඊට පවරන ලද වීෂය සීමාව ඉක්මවා ඔවුන් ගේ නිගමන හා නිර්දේශ ඉදිපත් කර ඇත.
  • විෂය පථයට කිසිලෙසකින්වත් අදාල නොවන කරුණු පිළිබදව විමර්ශනය කර නිර්දේශ ඉදිපත්කර ඇත.
  • උදාහරණ මුස්ලිම් අන්තවාදී සංවිධාන පීළිබද තීරණාත්මක ලෙස කරුණු හෙලිකල බොදුබල සේනා සංවිධානයේ නායක අතිපූජ්‍ය ගලබොඩ අත්තේ ඥණසාර හිමියන් පිළීබද වන නිර්දේශ
  • තවද කොමිෂන් සභා වාර්තාවේ 309 වන පිටුවේ මෙසේ සඳහන් කර ඇත. “සාක්ෂි සළකා බැලීමේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් බව එවකට රජය ක්‍රියාශීලී පියවර ගැනීමට අපෝසත්වීම ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි.” නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එරෙහිව පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද්විත්ව ප්‍රමිතියකින් සැළකීමක් බවත් පැහැදිලි වේ. 
  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නීතිය හා සාමය අමාත්‍යාංශය තමා වෙත පවරා ගන්නේ 2018 ඔක්තොබර් 30 දින දීය. ඇත්ත වශයෙන් එතුමා මෙම අමාත්‍යාංශයෙ වගකීම භාරගෙන කටයුතු කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ලවන දිනය දක්වා මාස 05කුත් දින 20ක පමණ කාලයක් පමණි.
  • මීටපෙර මෙම අමාත්‍යාංශය භාරව සිටි කිසිදු මැතිඇමැතිවරයෙකුට මෙම සිද්ධිය පිළිබදව කිසිදු වගකීමක් මෙම කොමිසමේ විසින් පවරා නැත ප්‍රහාරය සැලසුම්කල අයවලුන් බෝම්බකරුවන් ප්‍රහාරය සදහා මුල්‍ය ශක්තිය සැපයු පාර්ශවයන් හා ඔවුනට ආරක්ෂාව සැපයු අය වාර්ථාව තුල සැලකිල්ලට භාජනයකර නැත.
  • පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථාන ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී හමුවු ආයුධ නැව් මගින් ආනයනය කර ඇති බවට තොරතුරු ඇතත් වාර්ථාව එහි ගැඹුර සොයා යන්නේ නැත.

මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයකු වන අච්චි මොහොම්මදු මොහොම්මදු  හස්තුන් නැමැත්තාගේ බිරිදවන සාරා නොහෙත් පුලස්තිනී රාජේන්ද්‍රන් නැමැත්තිය දිගු කලක් මඩකලපුව ප්‍රදේශයේ සැගව සිට ඉන්දියාවට පලාගිය අතර ඒ පිළිබදව විමර්ශනය කිසිදු සැලකිල්ලක් නොදක්වනවා පමණක් නොව එම නිසාම අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු නොසලකා හරීනු ලබයි.පාස්කු ප්‍රහාර දිනට පෙර නාමල් කුමාර නැමැත්තෙකු කරලියට විත් එවකට ජනාධිපති හා අප නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද, එළබීමට නියමිතව තිබු ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස නම්ව තිබු ගෝඨාභය රාජපකෂ මැතිතුමා යන දෙදෙනා පිළිබඳ ඝාතන කුමන්ත්‍රණයක් හෙලිකරන ලද අතර ඒ සඳහා ප්‍රබල පාතාල මැදිහත්වීමක් පිළිබදව දක්වන ලදී. පසුව ඒ හා සම්බන්දයැයි විදේශීය ජාතිකයකුගේ නම කියවුනද ප්‍රබල මැදිහත්වීමක් මත ඔහු පසුව නිදහස් කෙරුනි. වාර්තාව මෙම සිද්ධිය අවධානයට ලක් නොකරයි.

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද එකී කොමිෂන් සභාවේ විෂය පථය පිළිබඳව සළකා බැලීමේදී පැහැදිලිවම එකී කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයින් නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධි දාමයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ඇත්දැයි සොයා බලා වාර්තා කරන ලෙස නියෝග කර ඇත. එම කොමිසමට ලබාදුන් බලතල තුල කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් වෙත පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීම් ක්‍රියාත්මක කිරීම අදාල හෝ වගකීම් පැහැර හැරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කිසිඳු බලයක් ලබාදී නොමැති බව පැහැදිලිවම නිරීක්ෂණය වේ. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳව කර ඇති ප්‍රකාශයන් කොමිෂන් සභාව වෙත පවරන ලද බල සීමාව තුලට නොවැටෙන එයින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ ප්‍රකාශ කර සිටී. තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබදව කර ඇති බොහෝ ප්‍රකාශයන් උපකල්පන මත පදනම් වූ ප්‍රකාශ බව පැහැදිලිය. 

මෙම කොමිෂන් සභා වාර්තාවේ 292 පිටුවේ සඳහන් වන පරිදි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහරාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට තරයේ උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් ලැබුණ බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලන්ත  ජයවර්ධන මහතා සනාථ කර ඇති බව මෙම ප්‍රකාශයේ දැක්වේ. (පිටු අංක 292 හා 293)

කරුණු මෙසේ තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය රාජකාරී හා වගකීම් පැහැර හැර ඇති බවත්, එය හුදෙක් සිවිල් නොසැලිකිලිමත් බව ඉක්මවා යන බවත් පරීක්ෂණ කොමිෂමේ අදහස බව ප්‍රකාශ කර ඇත. යම් කෙනෙකු විසින් වගකීම පැහැර හැරීම ඔහුගේ සිවිල් නොසැලිකිලිමත්වය ඉක්මවා යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි.

එසේම කොමිෂන් වාර්තාවේ 296 වන පිටුවේ සදහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවන්හි දී ආරක්ෂක අමාත්‍යධූරය සදහා වැඩබලන පත්වීමක් ලබා නොදීම තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය වන බව පවසා ඇත. එම පිටුවේම ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩ බලන පත්වීමක් සිදුකිරීම හුදු අභිමතයක් පමණක් බව ප්‍රකාශ කර ඇත.

තවද පාස්කු කොමිෂන් සභා වාර්තාව 487 වන පිටුවෙහි මෙසේ දැක්වේ. “ඔහු හෝ ඇය විදෙස් ගත වන්නේ නම් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු පත්කිරීම ජනාධිපතිවරයාට අනිවාර්ය කිරීම සදහා ව්‍යවස්ථාමය විධිවිධාන පැනවිය යුතුය. ආර්කෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩබලන අමාත්‍යවරයාට තිබිය යුතුය. ජාතික ආරක්ෂක මණ්ඩලය කැදවා උපදෙස් දීමට වැඩබලන අමාත්‍යවරයාට බලය තිබිය යුතුය.” මෙයින් පැහැදිලිව දැක්වෙන්නේ වැඩබලන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයකු පත්කිරීමට බලය පැවරෙන නීතිමය ප්‍රතිපාදන අප ව්‍යවස්ථාවේ නොමැති බවයි. එසේ පත් නොකිරීම පිළිබදව ජනාධිපතිතුමාට සාපරාධී වගකීමක් පැවරෙන්නේ කෙසේද ?

අභිමතානුසාරී බලය  ක්‍රියාත්මක නොකිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ කෙසේ වරදක් වේද යන්න දැඩි සේම අවිනිශ්චිතතාවයකි. ජනාධිපතිවරයෙක් තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල හා වගකීම ක්‍රියාත්මක නොකිරීම කිසිසේත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කරුණක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ පෙන්වා දෙනු ලැබේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා පැහැදිලිව සිය වගකීම් ඉටුකර ඇති බව මෙම වාර්තාව තුලින්ම පැහැදිලි වන අතර, එතුමාට එරෙමහිව කිසිදු අපරාධ නඩුවක් පැවරීමට නීතිමය වශයෙන් හෝ කරුණු වශයෙන් ඉඩකඩ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කරයි. විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව යම් පැහැර පැහැරහැරීමක් මත අපරාධ නඩු පැවරිය යුතු යැයි තීරණය කරන ලද සංකල්පය අහිතකර පූර්වාදර්ශයක් වන අතර එය රාජ්‍ය නායකයෙකු වෙත ව්‍යවස්ථාවෙන් ලබාදෙන ලද බලය හෑල්ලු කිරීමකි.

ඇමරිකා එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 වන දින පෙන්ටගනයට ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව වූ පරීක්ෂණ කමිටුවේ දී එකී ප්‍රහාරය පිළිබදව පූර්ව තොරතුරු ඇමරිකානු රාජ්‍ය අංශයන්ට ලැබී තිබුණ බව සනාථ වී ඇත. එහෙත් ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවීම මත ඇමරිකානු ජනාධිපතිවරයාට හෝ බුද්ධි අංශ සාමාජිකයන්ට චෝදනා ගොනු කිරීම එම පරීක්ෂණ කමිටුව අනුමත නොකරන ලදී.

නවසීලන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද කරන ලද පරීක්ෂණ වලදී ඒ පිළිබඳ පූර්ව තොරතුරු එරට ආරක්ෂක අංශ වලට ලැබී තිබුන බව සනාථ වුවත් ආරක්ෂක අංශ වලට එරෙහිව සාපරාධි නඩු පැවරීමක් සිදු නොවීය. ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන ත්‍රස්ත ක්‍රියාවන් පිළිබදව ලොව පුරා පිළගත් වගකීම් පිළිබද ඇති සම්ප්‍රදායන් අනුව රාජ්‍ය නායකයින් හෝ දේශපාලන අධිකාරීන්ට එරෙහිව සාපරාධි අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය සම්ප්‍රදායක් නොමැති අතර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉලක්ක කර ගනිමින් කරනු ලබන මෙවැනි ක්‍රියාවන් තුලින් අනාගතයේ දී ඕනෑම රාජ්‍ය නායකයෙකුට එරෙහිව සාපරාධි චෝදනා ගෙනඒමේ පූර්වාදර්ශයක් ස්ථාපිත වන බවද එය ඉතා භයානක හා අධූරදර්ශී ක්‍රියාවලියක් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරියේදී මෙම වාර්තාව පිළිබදව ගැඹුරු අධ්‍යයනයක්‍‍ කොට ඒ පිළිබදව වි‍‍‍ශේෂ ප්‍රකාශයක් කරණ බවත් 1978 වසරේ  මෙරටට හදුන්වාදුන් ජනාධිපති ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම වතාවට මානව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ලාංකික සමාජයට හදුන්වාදෙමින් යහපත් නිදහස් සමාජයක් මෙරට ස්ථාපිත කිරීමට බිහිවු ප්‍රථම ගැමි ගොවි නිර්ප්‍රභූ ජන නායකයාවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පිළිබද කර ඇති නිර්දේශ තරයේම ප්‍රතික්ෂේප කරන අතරම මෙයට අමතරව කොමිසමේ නිර්දේශ බහුතරයක් ප්‍රතික්‍ෂේප කරන බව දැනුම්‍දෙමි.අසම්පුර්ණ හා තමන්වෙත ලබා‍දෙන ලද විධානය පරිදි  සකස්නොකරන ලද පාස්කු කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර ‍වෙන කලයුතු ‍දෙයක් ‍නොමැතිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කල බව මෙයින් නිවේදනයකර සිටිමු.