Language Switcher

V2025

ලයිට් කණු දේශපාලනය ඉවරයි.. - ඇමති ඩලස්

"විදුලිය, පානීය ජලය යනු මිනිසාගේ මූලික අයිතිවාසිකමක්. එහෙම නැතිව ඡන්ද පොරොන්දුවක් නොවෙයි. අපේ දේශපාලන ඉතිහාසයේ තිබූ නූගත්කම හේතුවෙන් මෙම මූලික අයිතිවාසිකම් ඡන්ද පොරොන්දු වලට පමණක් සීමාවූ යුගයක් තිබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාරව රටේ සෑම පුරවැසියෙකුටම විදුලිය, ජලය කියන මූලික අයිතිවාසිකම තවදුරටත් දේශපාලන පොරොන්දුවක් හෝ මුලාවක් වන්නේ නැහැ. ඒවා යතාර්ථයක් කිරීම ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රථිපත්තිය සහ වගකීමයි"යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  අවධාරණය කරයි.

වසර ගණනාවක් ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසදුමක් වශයෙන් මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ 4 වන අධියර වශයෙන් යටියන ජල ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.

මාතර සමස්ත ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් දෛනිකව පානීය ජලය ඝන මීටර් 60,000 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර මේ යටතේ 2025 වනවිට මාතර, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාළිම්බල, කඹුරුපිටිය, කිරින්ද, පුහුල්වැල්ල, ්තුරලිය, බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ජීවත්වන 285,000 ක් පමණ පිරිසකට පානීය ජලය ලබාදීමට බලාපොරොත්තුවේ වේ.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම,

"අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වරදින් විටෙක එය වෛරයෙන්, තවත් විටෙක හාස්‍යයෙන් තවත් විටෙක ඕපදුප වලින් පිරෙනවා. ඒ ‍වරදේ ප්‍රථිපලයක් හැටියට වැලිගම, කඹුරුපිටිය, මාතර, මාලිම්බඩ සහ දෙවිනුවර වැසියන්ට වසර 4 ක් පුරා පානීය ජල ගැටළුවකට මුහුණ දීමට සිදුවුණා. කඹුරුපිටිය සංවර්ධනය කිරීමේ යෝධ අභිලාශයන්නේ මූලිකම එකක් තමයි ජනතාවගේ පානීය ජල ගැටළුවට විසදුම් ලබාදීම. රජයක් වශයෙන් මේ ආකාරයෙන් යුතුකම්, වගකීම් ඉටු කරද්දි, පාරිභෝගිකයා වශයෙන් ජනතාවගෙන් ඉටුවිය යුතු යුතුකමකුත් තිබෙනවා. ජලය කියන්නේ වටිනා සම්පතක්. ඒ නිසා ජලය නලය මගින් නොමිලේ පැමිණියත්, කලයේ ජලය මෙන් සුරැකීම ඔබගේ පරම යුතුකමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ වනවිට අනතුරු අගවලා තිබෙනවා 2025 වනවිට ලෝක ජනගහනයෙන් හරි අඩක් පානීය ජල ගැටළුවකට මුහුණ දීමට නියමිත බව. ඉතිහාසයේ යුද්ධ ඇතිවුනේ භූමියට, ඇත්දළ වලට, රන් රිදී මුතු මැණික් වලට. නමුත් ජලය සංරක්ෂණය නොකලොත්, නුදුරු අනාගතයේදී ජලය වෙනුවෙන් යුද්ධ ඇතිවීම වළක්වන්න අපිට අපහසු වේවි" යැයි පැවසීය.

මේ වනවිට ලෝක ජනගහනයෙන් බිලියන 2කට පානීය ජලය නොමැති බවත්, බිලියන 4 කට පනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් පවා ජලය නොලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මේ තත්ත්වය අතිශය භයානක බව පැවසීය. මෙම ජල ගැටළුව ශ්‍රී ලංකාව තුලද මේ වනවිට උග්‍රවී ඇති බැවින්, වසර 2025 වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 85% කට පානීය ජලය ලබාදීමට රජය විසින් මේ වනවිට සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා, ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් ගරු අගමැතිතුමන් විසින් මූල්‍ය ප්‍රථිපාදන වෙන්කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එතුමාට අපේ කෘතවේදීත්වය පිරිනැමිය යුතු බවත් පැවසීය. පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් ජ්‍යෙෂ්ඨත්වයෙන් සහ අත්දැකීමෙන් දෙවෙනිවන, පුද්ගලයෙක් නොව විශ්ව විද්‍යාලයක් වශයෙන් හැදින්විය හැකි, සොදුරු දේශපාලඥයෙක් වන වාසුදේව නානායක්කාර මැතිතුමා ජනතාවට පානීය ජලය ලබාදීමේ මෙම භාරධූර කරතව්‍යය වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් එතුමාටද ජනතා කෘතවේදීත්වය පිරිනැමිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ, මෙවර අයවැයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් බවත්, එම මුදල රු. ට්‍රිලියන තුනකට ආසන්න මුදලක් වන බවත්ය. 2021,2022,2023 වසරවල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර, වසර 2024 වනවිට සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබාදීම අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම සහ නායකත්වය මත සිදුකිරීමට සිදුකරන බවත්, ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන ගරු අග්‍රාමාත්‍යතුමන්ට, විෂයබාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මෙන්ම විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් කෘතඥතාව පළකර සිටින බවත් කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, දකුණු පළාත් හිටපු අමාත්‍ය බිංදු වීරසේකර  ප්‍රමුඛ ප්‍රදේශයේ දෙශපානාධිකාරිත්, ජාතික ජල සම්පත් මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, විදේශීය කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රෙද්ශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.