Language Switcher

V2025

මුතුරාජවෙල රකින්න ගිය තිස්ස ජන නායක ඇතුළු පිරිසට මිලිටරි තගක් !

මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිතව මතුව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව බලධාරීන් සමග සාකච්ඡාවක් සඳහා ගිය ප්‍රසිද්ධ ටියුෂන් පංති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක ඇතුළු පිරිසකට වැටුණු  "මිලිටරි  තගක්" සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඒ රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු ලෙස කටයුතු කරන විශ්‍රාමික හමුදා නිලධාරියකු වෙතිනි.
 
වාර්තා වන ආකාරයට  පසුගිය දිනක තිස්ස ජනනායක , දිනූක, සූරතිස්ස , බුද්ධි දිසානායක , ජනක හේවාසිංහ, සේනාරත්න වනසිංහ , රනිල් ජයමහ  යන වෘත්තීයවේදීන් පිරිස මුතුරාජවෙල ඉරණම සම්බන්ධව සාකච්ඡා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළත් රාජ්‍ය අමාත්‍ය වන නාලක ගොඩහේවා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරිය , ඉඩම්  සංවර්ධනය කිරීමේ  සංස්ථාව , වන ජීවී, වන සංරක්ෂණ වැනි   රජයේ ආයතන සහ  ඒවාට අදාළ  වගකිවයුතු ඉහළ පෙලේ නිලධාරීන් හමුව ඇත.
 
අපි ආමි : හිතුවොත්  හොඳින් හරි නරකින් හරි !
 
එහිදී ගුරුවරයෙකු මෙන්ම පරිසරය සම්බන්ධව සංවේදී ක්‍රියාකාරිකයෙකු ලෙස තිස්ස ජන නායක ඇතුළු පිරිස  සිය අදහස් දැක්වීමේදී "මම ඇවිල්ලා ආමී කාරයා.. මට ඕන දේ හොඳින් හෝ නරකින් කරනවා" කියමින් සංස්ථා සභාපතිවරයකු ලෙස   එහි සිටි විශ්‍රාමික හමුදා නිලධාරීයකු පිරිස වෙත තර්ජනාත්මක ස්වරූපයෙන් සඳහන් කර ඇත.
 
එසේම  එහි සිටි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විසින් "මාධ්‍ය සංදර්ශන දාන්න එන්න එපා" කියමින් තිස්ස ජන නායක ගුරුවරයාගේ අදහස් දැක්වීමට හරස්ව ඇත.
 
මෙකී සාකච්ඡාව පවත්වා ඇත්තේ මුතුරාජවෙල ආරක්ෂා කිරීමට කියමින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව සම්බන්ධවය. මෙකී සාකච්ඡාව ආණ්ඩුව වෙතින් ලබාගැනීමට මූලිකත්වය ගෙන තිබෙන්නේ ටියුෂන් ගුරු සහ පරිසරය සම්බන්ධව සංවේදී අයකු ලෙස තිස්ස ගජනායක ය.
 
ඔහු විසින් ෆේස්බුක් හී පළකරමින් අදාළ කටයුත්ත සඳහා උනන්දුවක් ඇති පාර්ශව එක්කර ඇත. මේ පිරිස අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත්තේ ඉන් පසුවය.
 
MCC වගේද මුතුරාජවෙල !
 
පසුගිය යහපාලන ආණ්ඩු සමයේ MCC බිල්ලෙක් ගැන , රට දෙකඩවීම, අටමස්ථානය වඳින්න ඇමරිකානු එම්බසියෙන් වීසා ගන්න වෙනවා වැනි පට්ටපල් ගජබින්න ප්‍රචාරක ව්‍යාපෘති අපට මතකය. තිස්ස ගජනායක වැන්නවුන් කළේ ඒ ගජබින්න ප්‍රචාරක ව්‍යාපෘති වලට න්‍යාය සම්පාදනය කිරීමට සමාන වැඩකි. 
 
එදාා තිස්ස ගජනායකලා පැතූ ලෝකය මේකද ? යන ප්‍රශ්නය දැන් අසා තේරුමක් නැතත් වලක වැටීම වුණත් වැදගත් වන්නේ එය මොළයට ආයෝජනයක් කරගත්තොත් පමණය.
 
එදාා තිස්ස ජන නායක ලා මොනවා කිව්වත්, හීනියට කෝචොක් දමා ආණ්ඩු විවේචනය කරත්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන තීන්දු තීරණ ගැන පට්ටපල් බොරු දැන හෝ නොදැන කීවත් ඒ තුළ සංවාද  කිරීමට , සාකච්ඡා කිරීමට පමණක් නොව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න , විරෝධතා උද්ඝෝෂණ කිරීමට අවස්ථාව තිබිණ.
 
යහපාලනය තුළ දූෂණ මෙන්ම තකතීරු වැඩ කොච්චර තිබුණත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තිබිණ. ජනාධිපති අගමැති පවා නිර්දය ලෙස විවේචනය විය. ඒ තුළ චණ්ඩි නිලධාරීන් සිටියේ නැත.
 
දේශප්‍රේමි , එක රටක් එක නීතියක් , හමුදා විනයක් , ජාතිකවාදී දේශපාලනයක්, වඳ කොත්තු, වඳ බ්‍රා ව්‍යාපාර නැති රටක් වැනි බොරුවෙන්, වංචාවෙන්, රැවටීමෙන් සිදුකළ ජනමතය වෙනස් කිරීමකට වසරකට පසුව තත්ත්වය කොහොමද ? 
 
තිස්ස ! ඔබ පැතූ ලෝකයද මේ ?
 
තිස්ස ගජනායක ඔබලා සමාජ මාධ්‍ය තුළ , පන්ති කාමර තුළ වීනා වැයුවේ මේ නාට්‍ය වේදිකාවට ගේන්නද ? 
 
මුතුරාජවෙල ඉරණම සාකච්ඡා කිරීමට පැවති සාකච්ඡා සභාව ඇතුලේම නාට්‍ය ගැන විස්තර කරොත් ඒ මෙහෙමය. තිස්ස ඇතුළු පරිසරය සම්බන්ධ සංවේදී වෘත්තිකයන් පිරිස අහන්නේ මුතුරාජවෙල ඉදිරි ඉරණම කෙබඳුද යන්නය. එහි ඉරණම ගැන විශ්වාසයක් ඔවුන්ට නැත. මුතුරාජවෙල අනාගතය අභාවාචකයක් බව ඔවුන්ගේ තක්සේරුවය.
 
එනිසා ඔවුන් අසන්නේ මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්න යන්නේ ඇයි කියාය. මුතුරාජවෙල ඇත්තේ සංවර්ධනය කිරීමට දෙයක් නොව , සංරක්ෂණය කිරීමට ඇති දෙයක් කියාය.
 
ඊට රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා ඇතුළු පිරිසේ ප්‍රතිචාරය වන්නේ තිස්ස ජන නායක ඇතුළු පැමිණි පිරිස දැනටමත් මුතුරාජවෙල ප්‍රසිද්ධියේ වනසමින් ඉන්න පරිසර පාළුවෙකු ලෙස කුප්‍රකට අජිත් පණ්ඩිතරත්න ගේ පිරිසක්ද ? කියා සැක බවය. ඒ තමන්ගේ මුතුරාජවෙල රකින  වැඩ වලට හරස් කපන්නට පණ්ඩිතරත්න එවූ පිරිසක් නොවන්නේ කොහොමද කියාය. ඔහුගේ පිරිසක් නොවේ නම් ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය  ගොඩහේවා ඇතුළු බලකාය විශ්වාස කල යුතු බවය.
 
ගොඩහේවා බලකායේ නොකෙරෙන වෙදකම් !
 
පරිසර සංවේදී පිරිස අහන්නේ මුතුරාජවෙල අභය භූමියක් වීම තුළ එය ආරක්ෂා කිරීමට අඩවි වන  රක්ෂිතයක් කළ නොහැකි ඇයි යන්නය. ඒ කතාවේ නම් පදනමක් ඇත. ආසියානු තෙත් බිම් අතරින් විශිෂ්ටතම සමුද්‍රාසන්න තෙත් බිම ලෙස මුතුරාජවෙල ප්‍රසිද්ධය.
 
එහෙත් ඒ ප්‍රශ්න වලට ගොඩහේවා බලකායට දෙන්න නිසි පිළිතුරු නැත. වනජීවී ලොක්කන් කියන්නේ අභය භූමියක් නිසා  සත්තුන්ට වෙන දේකට මිස මොකුත් කරන්න තමන්ට බලයක් නෑ කියාය. ඒ තුළ ඉතිං රක්ෂිතයක් කරමු කියා යෝජනා කළවිට කියන්නේ හොරෙන් ගොඩකරනවා කොහොමටත් බේරගන්න බෑ කියාය.
 
එපමණක් නොව "අධිකරණයට ගියත් වැඩක් නෑ , නඩුව ඉවර වෙනකොට ඉඩම පුරවලා" , "අපි රාජකාරියට යනකොට පෞද්ගලික ඉඩම් තියෙන අය තහනම් නියෝග අරගෙන", "උසාවි දැම්මට වැඩක් නෑ - දඩය ගෙවලා ආය ඇවිත් පුරවනවා" පන්නයේ උත්තර ගොඩක් ගොඩහේවා බලකාය දී ඇත.
 
මේ බැරි බැරියාවට බෙහෙත් කොහෙන්ද ?
 
"අධිකරණය දඬුවමක් ලෙස දඩයක් ගෙවපු කෙනෙක් එකම වරද නැවත නැවත කරනවා නම්, ඒ සෑම විටම වැරදි කිහිපයක් සඳහා වැරදිකරු කරන්න පුළුවන් නේද ? උසාවියට අපහාසයක් කිරීම යටතේ පවා ඔවුන් සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් . ඇයි ඒක නොකරන්නේ ? ඔය ඉඩම් අල්ලගෙන පුරවන අජිත් පණ්ඩිතරත්න ට එහෙම නඩු දාලා නැද්ද ?  ඒ කියන්නේ මිනිස්සු කිහිපදෙනකුගෙන් මේ ලෝකයක් වටින පොඩි පරිසර පද්ධතියක් බේරගන්න බෑ කියලද ?" ඒ ප්‍රශ්න පරිසරයට සංවේදී පිරිසෙන්ය.
 
"ඔය  අහන ඔක්කොටම අපි උත්තර දෙන්න බැඳිලා නෑ .." ආරම්භය රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා වෙතිනි. "මම ඇවිල්ලා ආමි කාරයා මට ඕන වැඩේ හොඳින් හරි නරකින් හරි මම කරනවා හරිද " ඒ විශ්‍රාමික හමුදා නිලධාරී  සංස්ථා සභාපතියෙකි. "නිකං මාධ්‍ය සංදර්ශන දාන්න එපා " ඒ අධිකාරියේ සභාපති ය.
 
දැන්  වැඩ යන්නේ එහෙමය. ආණ්ඩුවට අවශ්‍ය දේ කරන්න නොදෙන්නේ නම් ඒ දේ මොකක් වුවද අනාරක්ෂිතය. ජාවාරම්කරුවන්ට ජාවාරම ගැන නිදහස ඕනෑතරම් වුවත් ඊට එරෙහි වන්නන්ට  ඒ නිදහස නැත. ඔවුන් තර්ජිතය. දැන් කරපු මෝල් වැඩ ගැන විස්සෝප වෙලා තේරුමක් නැත. තිස්ස ජන නායක වැන්නවුන්ට දැන් ඇත්තේ , " කරන්න ඕන දේ හොඳින් හරි නරකින් හරි කරනවා" කියා පාර්ට් දාන උදවියගෙන් " නරකින් කරන්න තියෙන ජනතාවාදී කටයුත්ත මොකක්ද " කියා අහන්න තරම් කොන්දක් හෝ ඉතුරු කරගැනීමය.
 
තිස්ස ..! තිස්ස ..! 
ඔයාට දැන් කොහොමද ?
තවමත් ඒ විදියද ?