Language Switcher

V2025

ලංකාවේ නිතීඥවරියකට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් !

අභියෝග මධ්‍යයේ වුව ද රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිවේදිනියක හා ක්‍රියාකාරිනියක වන රනිතා ඥාණරාජා, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමනු ලබන ජාත්‍යන්තර 'දිරිය කාන්තා සම්මානයෙන්' (International Women of Courage - IWOC) පසුගියදා පිදුම් ලැබීය.

 117500283 whatsappimage2021 03 09at21.21.18

                                                                                                                                                රනිතා ඥාණරාජා

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා ලබාදුන් 'විශිෂ්ට දායකත්වය වෙනුවෙන්' එම සම්මානය සඳහා සුදුසුකම් ලැබුවාය.

ශ්‍රී ලංකාවේ යුක්තිය, වගවීම සහ කාන්තා අයිතිවාසිකම් සඳහා වූ කැපවීම වෙනුවෙන් රනිතා ඥාණරාජා, එසේ ඇගයීමට ලක් කරනු ලැබුවේ එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව ආචාර්ය ජිල් බයිඩන් සහ රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් විසිනි.

නීතිඥවරියක වන ඥාණරාජා, බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් පීඩාවට පත් වූ පවුල්, ස්ත්‍රීපුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වයට මුහුණ දී දිවිගලවාගත් පුද්ගලයින් සහ ආගමික හා ජනවාර්ගික සුළුතර කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානම්පාත්‍ර ජනකොටස් වෙනුවෙන් පෙනී සිටින්නියක් බව එහිදී හඳුන්වා දී ඇත.

"වර්තමාන සන්දර්භය තුළ අරගල හා අභියෝග නොතකා නව උපාය මාර්ග හා ජාලයන් සමඟ මගේ වැඩ කටයුතු කරගෙන යාමට පමණක් නොව පුළුල් කිරීමට ද මෙය මට විශ්වාසය හා අධිෂ්ඨානය ලබා දෙනවා," යනුවෙන් රනිතා ඥාණරාජා බීබීසී සිංහල සමග පැවසීය.

පිළිගැනීමක් හා පහසුකම් නොමැතිව බිම් මට්ටමේ නිර්දය ලෙස වැඩ කරන කාන්තාවන්ට මෙය ශක්තිමත් ලෙස සහාය වනු ඇති බව කී ඇය එවැනි කාන්තාවන් සෑම මට්ටමකින්ම පිළිගැනීමටත්, සහයෝගය ලබා දීමටත් සහතික වන බව ඇය සඳහන් කළාය.

"වින්දිත ප්‍රජාවන් යුක්තිය සහ වගවීම සඳහා වන අරගලය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය නැවත ලබා ගන්නා බවට සැකයක් නැහැ."

 117507920 secretaryantonyblinken

                                                    එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාව ආචාර්ය ජිල් බයිඩන් සහ රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන්

ඇමරිකානු රාජ්‍ය ලේකම් පිරිනමන 'ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය' 2007 දී ඇතිකරනු ලැබුවේ ලොව වටා සාමය, මානව හිමිකම්, සහ කාන්තාවන් සවිබලගැන්විම වෙනුවෙන් උද්දේශනය කිරීමේ දී සුවිශේෂී ධෛර්යයක් සහ නායකත්වයක් පෙන්නුම් කරන කාන්තාවන් අගය කිරීම සඳහා ය. ගතවූ වසර 15 තුළ රටවල් 75කට අධික සංඛ්‍යාවක දිරිය කතුන් 155කට අධික සංඛ්‍යාවක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙසේ පිළිගැනීමට ලක් කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිනියන් තුන්දෙනෙක් එසේ ඇගයීමට ලක්ව ඇත.

ජෙන්සිලා මජීඩ් 2010 වසරේ දීත්, සන්ධ්‍යා එක්නැළිගොඩ 2017 වසරේදීත්, මාරිනි ඩි ලිවෙරා 2019 වසරේ දීත් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර රනීතා ඥාණරාජා මෙම සම්මානයෙන් පිදුම් ලැබූ සිව්වෙනි ශ්‍රී ලාංකික කාන්තාව ය.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා රහිතව රඳවාගෙන සිටින සිරකරුවන්ට සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ වින්දිතයින් වුයේ යැයි විශ්වාස කරන අයට අත්වූ ඉරණම පිළිබඳ දැනගැනීමට වෑයම් දරන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඇය නොමිලයේ නීති ආධාර සපයන්නීය. වින්දිතයින් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් සඳහා ඇය විසින් ලබාදුන් නායකත්වය සහ උද්දේශනය රට පුරා වින්තයින්ගේ පවුල් බොහෝ සංඛ්‍යාවකට උපකාරී වී තිබේ.

එසේ ම, ඇය ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කරන සහ ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලැබීම වෙනුවෙන් උද්දේශනය කරන බිම් මට්ටමේ සංවිධානවල ශක්‍යතාව වර්ධනය සඳහා වෙහෙස නොබලා උපකාර කර ඇත.

"අපයෝජන හා හිංසනවලින් ආරක්ෂාව පතා පොලිසිය වෙත යාමේ දී කාන්තාවන්ට බාධා ඇති කරවන, පොලිස් ස්ථානවල ඇති අඩුපාඩු හදුනාගැනීමට ඥාණරාජා මහත්මිය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කළ පර්යේෂණය ඔස්සේ හැකි වී තිබේ," යනුවෙන් ඇමරිකානු තානාපති කාර්යාලය පැවසීය.

කාන්තා රැකවරණ ස්ථාන, උපදේශන සේවා, සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දී දිවිගලවාගත් අය සඳහා වෛද්‍ය සේවා වෙත කාන්තාවන්ගේ ප්‍රවේශය වැඩිකිරීමට හේතු වූ දැනුවත් කරීමේ වැඩසටහන් ද ඇය විසින් මෙහෙයවනු ලැබ තිබේ.

"මෙම පිළිගැනීම මට සැබවින්ම නිහතමානී ගෞරවයක්. මගේ සෙසු ක්‍රියාකාරීන්ගෙන් මට ලැබුණු ප්‍රතිචාර වගේම ආදරයෙන්, මම කෙරෙහි තැබූ විශ්වාසය සහ බලාපොරොත්තුව පිරී තිබෙනවා. මට මේ පිරිනමපු ගෞරවනීය සම්මානය වින්දිත ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය සඳහා සාමකාමී මාර්ගයෙන් දිනපතා සටනක යෙදෙන සෙසු කාන්තා ක්‍රියාකාරීන්ට පවතින ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීමට ධෛර්යයක් ලැබෙයි කියලා මට හිතෙනවා." යනුවෙන් රනිතා ඥාණරාජා පැවසුවාය.

(බීබීසී)