ගෝඨාභයගෙන් අවධාරණ 2ක් : එකක් මාධ්‍යට අනික ඊළඟ වතාව ගැන !

ගෝඨාභයගෙන් අවධාරණ  2ක් : එකක් මාධ්‍යට අනික ඊළඟ වතාව ගැන !

"ජනතාව මාව පත් කළේ මාස 60ක කාලයකටයි. තවම ගත වී ඇත්තේ මාස 14 විතරයි. තව තියනවා හොඳ කාලයක්. මම නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තීරණය වන්නේ ජනතාව මෙම මාස 60 දී මාගේ සේවය පිළිබඳව ඇති කරගන්නා පැහැදීම මතයි." යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඒ ඊයේ (20) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහනට සහභාගීවෙමින්ය. එහිදී ජනතාව ඇමතු ජනාධිපති කියා සිටියේ "මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවේ.

ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කිරීමේ හැකියාවක් නැත." යනුවෙනි. එසේම ''මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා.

මම මාස 14ක් පාලනය කළා. මම කිසිම මාධ්‍යයකට බලපෑම් කරලා නැහැ. ඒ අය වැරදියට පාවිච්චි කරන්න ආවොත්. ඒකටත් නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා.'' යනුවෙන්ද ජනාධිපති පැවසීය.

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශියත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ද සඳහන් කළේය. මේ රටේ බහුතර ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ රට ගොඩනැගීමටයි.

මාස 60ක් වූ ධූර කාලයෙන් ගතව ඇත්තේ මාස 16ක් පමණි. තව සැලකිය යුතු කාලයක් ඉදිරියට තිබේ. ඊළග ජනාධිපතිවරයා පිළිබඳ ඇතැම්හු කලබල වී සිටිති. කිසිවෙකු ඒ ගැන කලබල නොවිය යුතු අතර එය තීරණය කරන්නේ ජනතාවයි.

ඉදිරි ධූර කාලය ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ජනතාව නගාසිටුවීමට සුවිශාල වැඩකොටසක් ඉටු කරමින් ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන බව ජනාධිපතිතුමා පැවසීය.නිලධාරීන්ගේ වගකීම ජනතාව ජීවත්කරවීමයි. කිසිවිටෙක ඔවුන්ට කරදර නොකළ යුතුයි.

ජන ජීවිතය අඩාල කෙරෙන කිසිදු අකටයුත්තක් තමා රාජ්‍ය නිලධාරීන්ගේ අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.“මා කිසිවිටෙකත් පරිසරය විනාශ කර නැහැ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටින අවදියේ පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙනගියේ කිසිවෙකු නොකළ වැඩකොටසක්. නිදහස් චතුරශ්‍රයේ පවා එදා කුණු ගොඩවල් පිරී තිබුණා. ඒ තත්ත්වය නැති කොට කොළඹ නගරය හරිත උයනක් බවට පත් කලා.

පරිසරය වෙනුවෙන් කිසිවක් නොකළ අය මට ඇගිල්ල දිගු කිරීම කණගාටුවට කරුණක්” ජනාධිපතිතුමා කීය.පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇත. පරිසරය ආරක්ෂා කළානම් අද ඔවුන්ට මාධ්‍ය ඉදිරියට පැමිණ හඩා වැටීමට සිදු නොවන බවද ජනාධිපතිතුමා කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න