රුපියල් බිලියන 15.9ක මුදලක් රටට අහිමි කළ සීනි වංචාව සහ පිළිකාකාරක විෂ පොල්තෙල් මෙරටට ගෙන්වීම පිටුපස සිටින්නේ එකම පිරිසක්දැයි බරපතළ සැකයක් මතු වී ඇති බව සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි සඳහන් කරයි.
සීනි වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ "විල්මාර්" සමාගම් සමූහයට අයත් එක් සමාගමක් විසින් මෙරටට මහා පරිමාණයෙන් පොල් තෙල් ගෙන්වීමේ නිරතව සිටින බවත් එම සමාගමේ හිමිකරු සජාඩ් මවුසූන් නැමැත්තා සහ මෙම විෂ පොල්තෙල් මුලින් ම පරීක්ෂාවට ලක් කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා ඉතා සමීප මිතුරන් බවත් සඳහන් කළේය.
පිළිකාකාරක විෂ පොල්තෙල් වෙළෙඳපොළට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතු වන බවත් ඒ අනුව මෙම විෂ සහිත පොල්තෙල් සැලසුම් සහගතව වෙළඳපොලට මුදාහැර දැවැන්ත ජාවාරමක් සිදු කරනු ලැබුවේද යන කරුණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම විෂ පොල්තෙල් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සමාගම් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බවත්, රජය ඒ සම්බන්ධයෙන් දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් අඩුම තරමින් පාරිභෝගිකයන් මැදිහත් වී එම ව්‍යාපාර වර්ජනය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන් ම සීනි වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පසුව නුෂාඩ් පෙරේරා සතොස ආයතනයේ සභාපති ධූරයෙන් ඉවත් කොට ඒ වෙනුවට ඔහුට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භාර දුන් අවස්ථාවේම මෙබඳු සිදුවීම් සම්බන්ධයෙන් සැක මතු වූ බවත් ඔවුන් සියලු දෙනාම එකම ගජමිතුරු ව්‍යාපාර කවයක සාමාජිකයන් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
"මොවුන් සියලු දෙනාම වියත්මග සංවිධානය සමග ඉතාම කිට්ටුවෙන් ගනුදෙනු කරපු අය. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණ කාලයේ වියත්මග සංවිධානයේ බොහෝ සාකච්ඡා, සම්මන්ත්‍රණ සම්බන්ධීකරණය කළේ මේ පිරිස. ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ගජමිතුරු ව්‍යාපාරිකයන් මේ රටේ බොහෝ ආර්ථික මර්මස්ථාන ඩැහැගත්තා. අද මේ රටේ අහිංසක පාරිභෝගිකයන්ට අත් විඳින්නට ලැබෙන්නේ මේ ගජමිතුරු කල්ලියේ වැඩවල ප්‍රතිඵලයි," යයි ද ප්‍රකාශ කළේය.
රුපියල් බිලියන 15.9ක සීනි වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමගි තරුණ බලවේගය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කොට ඇති බව පැවසූ ඔහු මේ වන විට ඒ පිළිබඳව විමර්ශනය කිරීම ඇරඹී ඇති බවට දැනුම් දීමක් ලැබී ඇතැයිද සඳහන් කළේය.

