තඹුත්තේගම ඔරුගලයාය වන විනාශය : පරිසරවේදීන්ගෙන් අනාවරණයක් !

තඹුත්තේගම ඔරුගලයාය වන විනාශය : පරිසරවේදීන්ගෙන් අනාවරණයක් !

තඹුත්තේගම ඔරුගලයාය වන විනාශය සම්බන්ධව විශේෂ අනාවරණයක් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන අතර ඒ පසුගියදා එම ප්‍රදේශයේ සිදුකළ ක්ෂේත්‍ර නිරීක්ෂණයකින් පසුවය.

ඒ සම්බන්ධව ඔවුන් නිකුත්කළ නිවේදනය සහ ජායාරූප පහත දැක්වෙයි.

තඹුත්තේගම ඔරුගලයාය වන විනාශය !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔරුගලයාය ග්‍රාමයේ ආසන්න වශයෙන් අක්කර 300 කට නොඅඩු මහවැලි රක්ෂිත භූමියක් කිසිඳු පරිසර අධ්‍යනයකින් තොරව හෙලි පෙහෙලි කොට ඇති බව පසුගියදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන අතරතුර දැකගත හැකි විය.

164081234 1275301976204428 1428545994581244976 n

කැලය වනසන්න වෙස් මුහුනක් !

ඔරුගලයාය, සඳසිරිගම ග්‍රාමයන්හි කාලයක් තිස්සෙ පවතින අලි මිනිස් ගැටුමට ස්ථීර විසඳුමක් ලෙස යැයි පවසමින් කැලය කපා ආරණ්‍ය සේනාසනයක් ඉදිකිරීමේ මුවාවෙන් එම භූමිය අත්පත් කර ගැනීමේ සූක්ෂම සැලසුමක් මේ වන විටත් දියත් වී ඇත.

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරය යටතේ යන එන මන් නැති වූ අලි ඇතුන් 30 ක පමණ රංචුවක් (කබරයා, තනියා, දලයා, නොන්ඩියා, නියපොත්තා, නැට්ටකොටා) මෙම වන භූමියේ වසර ගණනාවක් පුරා ජීවත් වූ බව ප්‍රදේශවාසීහු පවසති. ඊට අමතරව තිත් මුවා , වල් ඌරා, වැලිමුවා, හාවා, වඳුරා, රිළවා, ගෝනා, ඉත්තෑවා යන සතුන්ගේද වාසස්ථානය වී ඇත්තේ මෙම වන භූමියයි. ප්‍රදේශයේ කලින් කලට මතුවන වන අලි ගැටලුව දඩමීමා කර ගනිමින් ගම්මුන් ගේද සහයෝගය ඇතිව, මහවැලි අධිකාරියේ පූර්ණ ආශිර්වාදය සහිතව මෙම වන භූමිය නුදුරු කාලයේදී විනාශ කොට ඇත. මේ සඳහා අවශ්‍ය වූ සියලු යන්ත්‍ර සූත්‍ර නොමිලයේම මහවැලි අධිකාරිය විසින් සපයන ලද බවත්, ලක්ෂ 8ක් පමන වූ සමස්ත ඉන්ධන වියදමෙන් ලක්ෂ 3ක මුදලක් විනාශ කරන ලද වන භූමියේ දැනට ඉදිකරමින් පවතින "සුජාත පුත්‍ර" ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානී කිරුලපනේ ධම්මවිජය ස්වාමීන්වහන්සේ ලබා දුන් බවත්, ඉතිරි ලක්ෂ පහක මුදල ප්‍රදේශයේ ගොවි සමිති, මරණාධාර සමිති හරහා සපයා ගත් බවත් ඔරුගලයාය ප්‍රදේශවාසිහු පවසති.

164512603 188099509543849 306902765824343471 n

කෙසේවෙතත් අවසානයේ වනය එලි කිරීමෙන් පසු සිය වාසභූමි අහිමි වූ අලින් තෙල්හිරියාව පුරාන ගල් විහාරයට අයත් කුඩා වන ලැහැබක සිරවී සිටින අතර මේ හේතුව නිසා ප්‍රදේශයේ වල් අලි උවදුර තව තවත් උග්‍ර අතට හැරී ඇති බව වාර්තා වෙයි.

සුජාත පුත්‍රයාගෙ ආක්‍රමණය !

ඔරුගලයාය "සුජාත පුත්‍ර" ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉතිහාසය පිළිබඳ අපට ඇසුනේ මෙවන් කතාවකි.

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ "උක්කුං මහත්තයා" නැමැති දේශපාලන බලපුලුවන්කාරයෙකුගේ පුත්‍රයකු විසින් යම් කාලයකට ඉහත බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ඔරුගලයාය ප්‍රදේශයට වැඩමවා කුඩා කුටියක් ඉදිකර එහි පදිංචි කරවා ඇත. පදිංචි කරවීමට ප්‍රථමව ඒ සඳහා ප්‍රදේශවාසින්ගේ විරෝධතාවක් එල්ල නොවන ආකාරයට කිසියම් එකඟතා ලිපියකට අත්සන් ද ලබාගෙන ඇත. යම් කාලයකට පසුව ඉහත භික්ෂුව එම ස්ථානයෙන් ඉවත් කොට කිරුලපන ධම්මවිජය ස්වාස්වාමීන්වහන්සේ යටතේ ක්‍රියාත්මක වන "මිගදාය ආරණ්‍ය සේනාසනය"ට අයත් මෙම "සුජාතා පුත්‍ර" ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ඉදිකීරිමට පියවර ගෙන ඇත. ප්‍රදේශවාසීන් ආරම්භයේ දී මීට විරෝධතාවය එල්ල කලත් කිසියම් ආකාරයකින් එම විරෝධය මේ වන විට යට පත් කොට ඇත.

164275488 479386603195712 5273252160966794319 n

එලි කරන ලද වන භූමියේ මේ වන විටත් කබානා ආකෘතියට සුඛෝපභෝගී භාවනා කුටි 20ක් පමණ ඉදි කර ඇත. දැනට තිබෙන විද්‍යුත් සම්බන්ධතාවය ප්‍රමාණවත් නොවන බව පවසා ත්‍රී ෆේස් විද්‍යුත් සම්බන්ධතාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. සෑම කුටියක්ම අධි තාක්ෂනික කැමරා මඟින් ජාල ගත කොට ඇත. එක් කුටියක දල ඇස්තමේන්තු වියදම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන බව එහි වැඩ කරමින් සිටි සේවකයෙක් අප සමඟ පැවසීය. එලි කරන ලද නමුත් දැනට ඉදිකිරීම් නොකරන ලද භුමි ප්‍රදේශයක දැව එකතු කරමින් සිටි ගැමියකු අපට පවසා සිටියේ ගමේ අයෙකුට දර කෑල්ලක් වත් එකතු කර ගැනීමට එම ප්‍රදේශයට යාමට නොහැකි බවත් කිසියම් ශබ්දයක් ඇසුනහොත් "සුජාත පුත්‍ර" භික්ෂුන් වහන්සේලා ඩ්‍රෝන කැමරා එවා මුලු ප්‍රදේශයම නිරීක්ෂණය කරන බවයි.

ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක පසුබිම !

එලි පෙහෙලි කල භූමියේම පිහිටා ඇති කුඩාගල්විහාරය ඉතා පෞරානික නටඹුන් රැසක් සහිත විහාරස්ථානයකි. ක්‍රි.පූ යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක්, ගලක් මතුපිට කෙටූ පැරනි සිරි පතුලක්, පැරනි වැවක්, ගල් ලෙන් සහිත මෙම විහාරය එකල "වෙද අරණ" ලෙසද හැදින්වූ බව විහාරස්ථානයේ කුඩා සාමනේර හිමි නමක් අප සමඟ පැවසූහ. මන් ද එකල වළගම්බා රජතුමන් පවත්වාගෙන ගිය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මෙම විහාරස්ථානය ආශ්‍රිතව පැවති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

එවන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරභූමියක් අවට නිසි පුරාවිද්‍යාත්මක අධ්‍යනයකින් තොරව බර වාහන යන්ත්‍ර යොදා මහවැලි අධිකාරියේ හිතුමනාපෙට පමණක් ඩෝසර් කලේ කෙසේද යන්න බරපතල ගැටලුවකි. මෙහි නීතිමය තත්වය පිළිබඳ විමසීමට තඹුත්තේගම මහවැලි නේවාසික ව්‍යාපෘති කළමනාකරන කාර්‍යාලය දුරකතනයෙන් ඇමතූ විට එහි නිලධාරී මහතෙකු පවසා සිටියේ කොළඹ සිටින පරිසර කාරයින් පළමුව අලි උවදුර පවතින ප්‍රදේශයක පදිංචි වී ඊට පසුව මෙවැනි දේවල්හි නීතිමය කාරනා විමසිය යුතු බවයි.

164572590 354013352564895 7372979966246305284 n

පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න