කාන්තා පීඩනයේ එක් පැතිකඩක් පිළිබිඹු කෙරෙන 'හේනේ පැලේ පැල් රකින්න'

කාන්තා පීඩනයේ එක් පැතිකඩක් පිළිබිඹු කෙරෙන 'හේනේ පැලේ පැල් රකින්න'

''පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ...''

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ රචනා කළ, ඔස්ටින් මුණසිංහ සංගීතවත් කළ, නිරෝෂා විරාජණී ගයන මෙම ගීතය බහු අරුත් දනවන, යටිපෙළ සහිත පද රචනාවකි. ඒ පිළිබඳ ලියවී ඇති විවිධ විචාර ඔබ: අසා, කියවා ඇති බව වෙසෙසින් ලිව යුතු නොවේ. එමෙන් ම මා සූදානම් වන්නේ ද එම ගීය පිළිබඳ අදහසක් දක්වන්නට නොව මා රස විඳි තවත් එබඳු ම ගීයක් පිළිබද මගේ විඳීම ඔබ සමග බෙදාගැනීම සඳහා ය.

nnnnnඅනුර හෑගොඩ , නන්දා මාලනී සහ රෝහණ වීරසිංහ

මෙම ගීතය පද රචනය කර තිබෙන්නේ ප්‍රකට කවියකු වන අනුර හෑගොඩ විසිනි; එය සංගීතවත් කර තිබෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ ය; ගායනය ආචාර්ය නන්දා මාලනී ය.

අපි පළමුව පද රචනය දෙස අවධානය යොමු කරමු.

හේනෙ පැලේ පැල් රකින්න

අවුළුවලා දුන්නු පහන

ඔබ නිව්වා දෝ

සුළඟට නිවුණා දෝ

 w3

රෑ සීතල ඊතල දෝ වද දෙන්නේ

පියවර හඬට කණ මැදිරින් ඇහැරෙන්නේ

අමාවකේ කළුවර හද පාරන්නේ

හේනට හොරෙන් යන මග කවුදෝ දන්නේ

 

හේනෙ පැලේ පැල් රකින්න...

 

හිමිදිරි පාන්දර බොල් පින්නේ ගලන

සුවඳක් ඔබේ පෙරමග ඇතිකර බැඳෙන

හදේ නැගුණු සුසුමත් එක්කොට රැගෙන

අවුළුවලා දෙන්නම් හවසට පහන

 

හේනෙ පැලේ පැල් රකින්න...

පද රචනය දෙස අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන විශ්ෂත්වය නම් මෙහි පවතින කාව්‍යාත්මක භාවය යි. ඇතැම් විට මෙහි පළමු පද රචනය ලියවෙන්නට ඇත්තේ ගීතයකට නොව කවියකට විය හැකි ය. මන්ද සමස්ත පද රචනය පුරාම විවිධාකාරයේ කාව්‍යලංකාර අන්තර්ගත වීම ය. වෙසෙසින් ම සඳැස් කවියේ අන්තර්ගත විය යුතු යැයි විශ්වාස කරන බොහෝ කාව්‍යලංකාර අන්තර්ගත වීම ය.

එය එසේ වන්නට ඇත්තේ අනුර හෑගොඩ වඩාත් රුචිකත්වයක් දක්වන්නේ ද සඳැස් කවියට වන බැවින් විය හැකි ය. එහෙයින් මෙය ගීතයක් ලෙස රස නොවින්ද ද, සඳැසක් වුව ද රසවත් කවියක් වීම වැළැක්විය නොහැකි ය.

මෙම නිර්මාණය තුළින් රචකයා ගම්‍ය කරන්නට බලාපොරොත්තු වූ යටි පෙළ ද, අනෙකකු මෙය කියවා මතු කරගත් යටි පෙළ ද එකිනෙකට වෙනස් විය හැකි ය; එමෙන් ම මා මෙය කියවා, විඳ මතු කරගත් යටි පෙළ ද ඊට සපුරා ම වෙනස් විය හැකි ය. එය නොවැළැක්විය හැකි කරුණකි. මන්ද ඕනෑම පුද්ගලයකු, ඕනෑම නිර්මාණයක් විඳින්නේ, කියවන්නේ සිය බින්න රුචිකත්වයට අනුව වන බැවිනි

මෙතැන් සිට මා විචාරයට, විවරණයට හෝ විවේචනයට බදුන් කරන්නේ මගේ බින්න රුචිකත්වය යි; මගේ වින්දනය යි.

හේනෙ පැලේ පැල් රකින්න

අවුළුවලා දුන්නු පහන

ඔබ නිව්වා දෝ

සුළඟට නිවුණා දෝ

women

මේ, මෙම පද රචනයේ පළමු පද හතර ය. මගේ කියවීමට අනුව නම් මෙහි දී පදරචකයා ''පහන'' යනුවෙන් ගම්‍ය කරන්නේ බිරිඳ, පැල් රකින්නට යන සිය සැමියා කෙරෙහි තැබූ විශ්වාසය යි. ඒ විශ්වාශය සැමියා විසින් ම බිඳ දමනු ලැබුවා ද, එසේත් නොමැති නම් වෙනත් කාන්තාවක විසින් එය බිඳ දමනු ලැබුවා ද යනුවෙන් කථකාව සිතන්නී ය; නොඒසේ නම් පවසන්නී ය.

තවත් සරලව ම පවසන්නේ නම් සැමියා පැල් රකින මුවාවෙන් වෙනත් කාන්තාවක ගේ නිවසෙහි රාත්‍රිය ගත කළා ද, එසේත් නොමැති නම් සැමියා සිටින පැලට වෙනත් කාන්තාවක පැමිණියා ද යන්න ය.

රෑ සීතල ඊතල දෝ වද දෙන්නේ

පියවර හඬට කණ මැදිරින් ඇහැරෙන්නේ

අමාවකේ කළුවර හද පාරන්නේ

හේනට හොරෙන් යන මග කවුදෝ දන්නේ

ඉක්බිති කියවෙන්නේ රෑ සීතල සමග සිරුරෙහි නැග එන්නා හැඟීම් පිළිබඳව ය. එනම් සැමියා නොමැතිව තනිවම රැය පහන් කරන බිරිඳක ගේ හැගීම් මෝදු වී එය මනසට ද, කයට ද අත් කර දෙන වේදනාව ය; නොතිත් ආශාව ය.  

'' පියවර හඬට කණ මැදිරින් ඇහැරෙන්නේ''

යනුවෙන් යෙදෙන පදයෙන් අරුත් දෙකක් ගම්‍ය කෙරෙතැයි යන්න මගේ කියවීම යි. එනම් සැමියා නිවසෙහි නොමැති බව දන්නා යම් පිරිමියකු කථකාව ගේ නිවස වටා සක්මන් කරනාකාරය ඇයට ඇසෙනවා විය හැකි ය. නොමැති නම් පැල් රකින්නට ගිය සැමියා කිසියම් මොහොතක යළි නිවසට එතැයි යන ඇගේ සිතිවිල්ල ය.

ඒ කෙසේ වුව ද ඇගේ පාළුව, තනිකම ඇය කෙතරම් රිදවනවා ද යන්න '' අමාවකේ කළුවර හද පාරන්නේ''  යන පදයෙන් ගම්‍ය කෙරේ. එමෙන් ම සිය සැමියා හේනට යන බව පවසා වෙනත් කාන්තාවක වෙත යන්නේ ද යන සැකය ''හේනට හොරෙන් යන මග කවුදෝ දන්නේ'' යන පදයෙන් ගම්‍ය කෙරෙන බව මගේ කියවීම ය.

womn

හිමිදිරි පාන්දර බොල් පින්නේ ගලන

සුවඳක් ඔබේ පෙරමග ඇතිකර බැඳෙන

හදේ නැගුණු සුසුමත් එක්කොට රැගෙන

අවුළුවලා දෙන්නම් හවසට පහන

ඉනික්බිති කියවෙන්නේ උදැසන නිවසට පැමිණෙන සැමියා ගේ හැසිරීම පිළිබඳ බිරිඳ ගේ අවධානය යි. එනම් සැමියාට ද සිය හෘද සාක්ෂියට එකඟව බිරිඳ සමග සම්මුඛ වීමට ඇති නොහැකියාව ය. තවත් සරලව පවසන්නේ නම් පෙර දා රැයෙහි ඔහු වෙනත් කාන්තාවක ගේ පහස ලැබූ බව ඔහු ගේ හිත දන්නා බැවින් සිය බිරිඳට මුහුණ දීමේ නොහැකියාව ය.

මේ සියල්ල ඉවසා සිටින බිරිඳ අවසන ගන්නා තීරණය ඉතා සූක්ෂ්ම ය; ඉන් අරුත් ද්වයක් ජනිත කෙරේ. එනම් ඇය පවසන්නී...

''හදේ නැගුණු සුසුමත් එක්කොට රැගෙන

අවුළුවලා දෙන්නම් හවසට පහන''

w2

යනුවෙනි...  මෙහි දී රචකයා ''අවුළුවලා දෙන්නම්'' නමැති දෙවදනින් අරුත් ද්වයක් ගම්‍ය කරන බව මගේ කියවීම ය. එනම් අද හවසට ද මම ඔබ කෙරෙහි විශ්වාසය තබා ඔබ පැල වෙත පිටත් කර හරිනවා යන්න ය. අනෙක් අරුත නම් ඇය සිය ස්වාමියා නිවසෙහි රඳවාගෙන ඔහු තමා කෙරෙහි ආසක්ත කරගන්නා බව ය; ඔහු සංතෘප්ත කරන බව ය.

තවත් සරලව පවසන්නේ නම් වෙනත් කාන්තාවක ගේ ඇසුර වෙත යෑම වළක්වා තමා සමග යහන්ගත වන්නැයි කරන ආරාධනාවක් බඳු ය; ඇය සිය සැමියා සංතෘප්ත කරන්නට අද සවස සැදී පැහැදී සිටින්නේ යැයි ගම්‍ය කිරීම ය.  

සමස්ත නිර්මාණය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන්නේ කාන්තාවක් කෙතරම් පීඩාවකට ලක්වන්නේ ද යන්න ය. මන් ද අප බොහෝ විට කියවා, නරඹා තිබෙන්නේ සැමියා පැල් රකින්නට ගිය පසු වෙනත් පුරුෂයකු සමග යහන් ගතවන කාන්තාවන් පිළිබඳව ය. එවිට නිර්මාණය රස විඳින පුද්ගලයා කාන්තාව දෝෂ දර්ශනයට ලක් කරන අතර පුරුෂයාට අනුකම්පා කරයි. මෙහි දී පද රචකයා එම සාම්ප්‍රදායික රටාව වෙනසකට බඳුන් කරයි; කාන්තාව කෙරෙහි අනුකම්පා උපදවා පුරුෂයා දෝෂ දර්ශනයට ලක් කරයි.

රූප රචනය පිළිබඳව

මෙම පදරචනය අවධානයෙන් රසවිඳින රසිකයින්ට, ප්‍රේක්ෂකයින්ට පද රචනය වටහා ගැනීම සඳහා රූප රචනය අදාළ ම නැත යන්න මගේ හැගීම ය. මෙහි දී රූපයට කළ නොහැකි බොහෝ දේ වචනයට කළ හැකි බව රූප රචකයා ප්‍රත්‍යක්ෂ කර ඇත. ඒ, කෙසේ ද, කොතැන ද යන්න මා පිළිබිඹු කරන්නට වෙහෙසෙන්නේ නැත. මෙය කියවා නැවත රූප රචනය නරඹන්න; එවිට ඔබට එය පිළිබිඹු වනු ඇත.

පද රචනයට සාපේක්ෂ සංගීත සංකලනය ගීතයේ තීව්‍රතාව ඔප් නංවා ඇත. නන්දා මාලනී ගේ ගායනය පිළිබඳ මගේ අකමැත්තක් නොමැත; නමුත් නිරෝෂා විරාජනී මෙම ගීය ගැයුවා නම් වඩාත් සුදුසු ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.

jayasiri

 

සටහන - ජයසිරි අලවත්ත 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න