Image

ශානි ගේ පාරේ; විනිසුරු ධුර කාල අර්බුදය වෙත ගමනක්

ශානි ගේ පාරේ; විනිසුරු ධුර කාල අර්බුදය වෙත ගමනක්

විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආන්දෝලනය බරපතළ තැනකට තල්ලු වන බවක් පෙනේ.

ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී ඇත. ඒ තුනෙන් දෙකක බලය ජනතාව ලබාදුන්නේ පරණ තාලයට යන්නට නොවේ. අත්තනෝමතික නීති වෙනස් කොට, වඩා යහපත් සමාජයක් මෙන්ම ජනතාවට සැබෑ නිදහසක් ලබාදෙන්නට අනෙක් සියලු ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව කැපවේ යැයි ජනතාව විශ්වාස කළේ ය. ජනතාව විශ්වාස කළ ආකාරයට ම, අඩුපාඩු සහිතව වුව ද සාපේක්ෂව එවැනි ගමනක් යන්නට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවක් පෙනේ. එහෙත් එවැනි උත්සාහයක දී මෙවැනි ආන්දෝලන කරන්නේ සුළුපටු හානියක් නොවේ. මේ ආන්දෝලනාත්මක තත්ත්වය වෙනස් කරන්නට ආණ්ඩුවට යන්නට හොඳ පාරක් තිබේ. ඒ පාරේ ගොස් ආණ්ඩුවට ඇත්තට ම පුරුදු ය. ආණ්ඩුව ඒ පාරේ ගොස් සාර්ථක ප්‍රතිඵල ද අත්කරගෙන තිබේ. ශානි අබේසේකර යනු ඊට උදාහරණයකි.

 

ශානි අබේසේකර යනු තීරණාත්මක සාධකයකි

Shaniශානි අබේසේකර

විශ්‍රාම ගිය ශානි අබේසේකර නැවත පොලිස් සේවයට ගැනීමේ තීරණයට විරුද්ධ වූ පිරිස අතර, ඒ ගැන ලියූ අය අතර මම ද සිටියෙමි. ඊට හේතු වූයේ ඒ ශානි අබේසේකර වීම නොවේ. උපදේශක වැනි තනතුරකට හැර, විශ්‍රාමලත් අයකු නැවත සක්‍රීය සේවයට ගැනීම මගින් පහළ සිටින නිලධාරීන් අධෛර්යමත් වන බවත්, පහළ නිලධාරීන්ට ලැබිය යුතු අවස්ථාවක් අහිමි වන බවත් මා විශ්වාස කිරීම ඊට හේතුව විය. එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම යන නිශ්චිත කාරණයේ දී, ශානි අබේසේකර යනු තීරණාත්මක සාධකයක් යන්න බැහැර කළ නොහැකි විය. එම පත්කිරීම පිළිබඳ නිශ්චිත කරුණු ආණ්ඩුව පාර්ශ්වයෙන් තර්කානුකූලව අවධාරණය කෙරිණි. 2019 අප්‍රේල් 21දා වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි, 2019 නොවැම්බර් 16දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ විගස සිය ප්‍රථම රාජකාරිය ලෙස එම ධුරයෙන් ඉවත් කෙරුණු, පාස්කු ප්‍රහාරය සහ ඒ හා බැඳුණු සිදුවීම් ජාලයක් පිළිබඳ විමර්ශන තොරතුරු සහිත... ආදී වශයෙන් ශානි අබේසේකර නැවත සේවයට ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරිණි.

 

ඉසුරු නෙත්තිකුමාර හම්බන්තොටට...

එහෙත් විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් නිශ්චිත - තර්කානුකූල හේතුවක් ජනතාවට දැනෙන්නට ජනගත කර නැත. එම නිසා ජනතාවට වෙනත් පාරවල යෑමට සිදු වී තිබේ. ඒ අතර විනිසුරු සංගම් දෙකට බෙදේ. ඉසුරු නෙත්තිකුමාර බඳු ප්‍රසාදයට පත් සේවා ඉතිහාසයක් සහිත විනිසුරුවරුන් හම්බන්තොටට මාරු කර යැවේ. මේ නිසා ආණ්ඩුව පසු වී යම් සාධනීය කරුණක් කිව්ව ද, එය ඇහෙන ප්‍රමාණය සාපේක්ෂව අඩුවන්නට ඉඩ ඇත. අනෙක් අතට, මේ අර්බුදයේ ඇති වඩාත් බරපතළ තත්ත්වය වන්නේ වර්තමාන ආණ්ඩුව පිහිටුවා ගැනීමේ ජනතා අභිලාෂ අතර ඉදිරියෙන්ම තිබූ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යනාදි කරුණු පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුවීමයි. ශිරාණි බණ්ඩාරනායක උදාහරණය, මොහාන් පීරිස් උදාහරණය මෑතකාලීන මතකයේ තිබිය දී, මේ ආණ්ඩුව යටතේ එවැනි සැකයක් මතුකිරීමට වෙනත් පාර්ශ්වවලට ඉඩ හැදීම නොකළ යුත්තකි.

 

විශ්වාසය පමණක් නොසෑහේ

689abfe0 7717 11ef 9dbe b7695bd29183.jpg 2

පැහැදිලිව කිව යුත්තේ ආණ්ඩුවට මෙවැන්නක් කළ හැකි ය. එහෙත් ඊට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමේ අත්හළ නොහැකි වගකීමක් ආණ්ඩුවට තිබේ. එසේ නැතහොත් බලය දූෂිතයි, පරම බලය පරම දූෂිතයි යන හංවඩුව ගැසීමට සාධාරණ ඉඩක් ලැබේ. කරන්නට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි සියල්ල, කුමන පෙර සැලසුම් තිබුණ ද, ආණ්ඩුව අත්හළ යුතු ය. ඇතැම් විට ඒ හේතුව සරල විය හැකි ය. ඇතැම් විට සංකීර්ණ විය හැකි ය. වඩා වැදගත් වන්නේ විනිවිදභාවයයි.

අරගලයේ ජනතා අභිලාෂ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව ඉටුකරන බවට ජනතාව විශ්වාස කරයි. එහෙත්, විශ්වාසය පමණක් නොසෑහේ. එය ඇඟට දැනෙන්නට තිබිය යුතුය. ඇසට පෙනෙන්නට තිබිය යුතුය.

 

shalika 

 

 

 

සටහන - Shalika Wimalasena

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න