සුරේෂ් සලේ නම් දැවැන්ත මිථ්‍යා ප්‍රබන්ධය 02; සුරේෂ් සලේ ළමා සොල්දාදුවෙක් ද...?

සුරේෂ් සලේ නම් දැවැන්ත මිථ්‍යා ප්‍රබන්ධය 02; සුරේෂ් සලේ ළමා සොල්දාදුවෙක් ද...?

සලේ හෝදන්නට ගොස් වළෙහි වැටෙන විමලේ

සුරේෂ් සලේ නම් මිථ්‍යා ප්‍රබන්ධය ගොඩනැගෙන්නට ගන්නේ ඔහු හමුදා ජීවිතය පටන්ගන්නටත් පෙර, වයස 16ක පමණ ගැටවරයකු ව සිටියදී ය.

මිථ්‍යා ප්‍රබන්ධයේ මේ ආරම්භයට අනුව, සුරේෂ් සලේ නැගෙනහිර පළාතේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කර ඇත්තේ 1984 සිට ය. 1968 වසරේ උපන් සලේට ඒ වනවිට වයස 16කි‍‍. මේ කතාව ඇත්තක් නම් ඔහු හමුදාවට බඳවාගෙන ඇත්තේ ළමා සොල්දාදුවෙක් වශයෙනි.

මිථ්‍යාවේ උපත

මේ මිථ්‍යාව උපත ලබන්නේ කොහෙන්ද...? අද මේ මොහොත වන තුරුත් නිවැරැදි කළ බවක් අප නොදුටු, වසර 6කට වඩා පැරැණි මෙහි උපත සිදුවන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ රනිල් වික්‍රමසිංහ ලබාදුන් රහසිගත ප්‍රකාශයකිනි.

2012 ඔක්තෝබර් මාසයේ සිට ගෝඨාභය ගේ මැදිහත්වීමෙන් සුරේෂ් සලේට පිරිනමා තිබූ යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතු‌රෙන් ඔහු 2016 දී ඉවත් කර, මැලේසියා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස පත්කර යවන්නේ රනිල් අගමැතිකම දැරූ ‘යහපාලන’ ආණ්ඩුවෙනි.

ranil

ජනාධිපති කොමිසම සුරේෂ් සලේ ගැන රනිල් ගෙන් විමසූ විට, පිළිතුර අතරමැද දී ඔහු ජනමාධ්‍ය වාර්තාකරුවන් එතැනින් ඉවත් කරන්නැයි ඉල්ලා සිටී. අනතුරුව ඔහු කියන්නේ සුරේෂ් සලේ තමන් හොඳින් දන්නා බවත්, ඔහු නැගෙනහිර පළාත ගැන කරුණු කියන්නේ නම් තමන් ඊට ඇහුම්කන් දෙන බවත් ය. ඊට හේතු වශයෙන් ඔහු කියන්නේ, 1984 පටන් එල්ටීටීඊයට විරුද්ධව මුස්ලිම් කණ්ඩායම් ඇති කිරීමේ දී සලේ ද ක්‍රියාකර තිබූ බවත්, එවැනි කණ්ඩායම් ගණනාවකට ආරක්ෂක අංශවලින් ආධාර උපකාර කළ බවත්, ඒ ගැන සලේට හොඳ දැනුමක් තිබූ බවත් ය. මේ හේතු නිසා නැගෙනහිර ගැන සලේ කියන දේට තමන් ඇහුම්කන් දෙන බව ය, රනිල් කොමිසමට කියන්නේ. (රනිල් මෙහිදී කරන ප්‍රකාශ අතිශය බරපතළ බව අපේ අදහස යි. හමුදා බුද්ධි අංශ මුස්ලිම් කණ්ඩායම් ගොඩනැඟීමට, පෝෂණය කිරීමට හා වර්ධනය කිරීමට කටයුතු කළ බව ද, තමනුත් ඒවා ගැන තොරතුරු දන්නා බව ද රනිල්ගේ ප්‍රකාශයෙන් කියැවේ.)

මේ කතාව නිසා බොහෝ දෙනකු දැන් හිතන්නේ සුරේෂ් සලේ ගේ නැගෙනහිර හමුදා ක්‍රියාන්විතය 1984 තරම් ඈත කාලයක සිට ඇරැඹෙන බව ය. එහෙත් ඇත්තටම නම් ඔහු හමුදාවට බැඳෙන්නේ 1987 දී ය. වාර්තාවල සඳහන්වන පරිදි සලේ හමුදා බුද්ධි අංශවලට සම්බන්ධ වන්නේ 1993 දී ය. ඒ අනුව රනිල් කියන නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සලේ ඇතුළු වනවා නම් ඒ රනිල් කියන වකවානුවෙන් අවම වශයෙන් වසර 10කට පසුව විය යුතු ය.

වැරදුණේ රනිල්ට ද? සටහන් තැබූ අයට ද?

ranil1

රනිල්ට ’94 වසර ’84 ලෙස වැරදී කියැවුණා ද, ඔහු නිවැරැදිව කීවත් සටහන් තැබීමේ දොසකින් එය ’84 වීද, එසේත් නැතිනම් ’84 පටන් ඇරැඹි මුස්ලිම් කණ්ඩායම් ගොඩනැගීමේ වැඩපිළිවෙළකට පසුකලෙක සලේ ද ඇතුළත් වූවා යැයි කියන්නට රනිල්ට වුවමනා වී ද යන්න පැහැදිළි නැත. එහෙත් අපේ අවබෝධයේ හැටියට රනිල්ට කියන්නට අවශ්‍ය වූ වසර විය යුත්තේත් 1994 යි. 84 තරම් ඈත කාලයක එල්ටීටීඊයට විරුද්ධව නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් ගොඩනැඟීමක් සිදුවී යැයි කීම එතරම් යථාර්ථවාදී බව නොපෙනේ. මුස්ලිම් ජනයා එල්ටීටීඊයට එරෙහිව මෙහෙයවා ගැනීමේ හැකියාව ලංකාවේ හමුදාවලට ලැබෙන්නේ 1990 දී සිදුවූ උතුරේ මුස්ලිම් ජනයා ඔවුන් ගේ වාසස්ථානවලින් පිටමං කිරීමට එල්ටීටීඊය කටයුතු කිරීමෙන් අනතුරුව ය.

කෙසේ වෙතත් සලේගේ නැගෙනහිර මුස්ලිම් කණ්ඩායම් සමඟ ක්‍රියාකාරකම් 1984 වසරේ ඇරැඹුණාය යි ගෙතී ඇති ප්‍රබන්ධයට දැන්වත් තිත තැබීම අවශ්‍ය ය. රනිල් ගේ ප්‍රකාශයට ම අනුව වුවත් එය තවත් දශකයකින්, එනම් 94ට මෙපිටින් ස්ථාන ගතකළ යුතු ය.

ඓතිහාසික විකෘතියක බරපතළකම

suresh

මෙය එතරම් වැදගත් කරුණක් නොවේ යැයි යමකුට සිතෙන්නට පුළුවන් වුවත්, ඉතිහාසය වාර්තා කිරීමේ දී මෙවැනි සාවද්‍ය වාර්තාකරණයක් අතිශය අගතිදායක ය. එය සලේ ගේ ඉතිහාසය හෝ ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් කණ්ඩායම් එල්ටීටීඊයට එරෙහිව ගොඩනැගීමේ ‘බුද්ධි සේවා’ මෙහෙයුම්වල ඉතිහාසය හෝ පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ. එය මුස්ලිම් අන්තවාදයේ නැගීම ද ඇතුළු 21වන සියවසේ ලංකාවේ සමස්ත දේශපාලන වියවුලේ ඉතිහාසය වැරදියට ලිවීමකි. මේ කරුණ එන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක වීම ද, එහි ප්‍රකාශකයා අගමැති හා ජනාධිපති තනතුරු ද දැරූ, රටේ ප්‍රමුඛතම දේශපාලකයකු වීම ද විසින් මේ ඓතිහාසික විකෘතියේ බරපතළකම උච්චස්ථානයකට නංවයි.

සලේ හෝදන්නට ගොස් කුණු ඇළෙහි පනින විමලේ

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගනිමින්, තමන් වැටී සිටින දේශපාලන ආගාධයෙන් ගොඩ ඒමේ පොටක් පාදාගන්නට හදන විමල් වීරවංශ මාධ්‍ය හමුවක් පවත්වා මෙවැන්නක් කියයි.

“සුරේෂ් සලේ යුද්දෙදි ඉටුකළේ අතිශය සුවිශාල භූමිකාවක්. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ එක වෙලාවක ආරක්ෂක මණ්ඩලයට කියනවා, ඉදිරි සතිය තුළ සුවිශේෂ ටාගට් එකක් අපට ගන්න පුළුවන්, ප්‍රහාරක ගුවන් යානයක් පැය 24ම සූදානම් කරල තියන්න කියලා. එකක් නෙවෙයි, ගුවන් යානා දෙකක් සූදානම් කරල තිබ්බා. එක වෙලාවක ආවා පණිවිඩේ, මේකයි ලොකේෂන් එක දැන් ගහන්න කියලා. එකයි යවන්න ඕනෑ, ඒත් දෙකක් යවනවා ගුවන් යානා. දෙකෙන්ම ගහනවා. කාටද වැදුණේ? තමිල් සෙල්වන්ට. කාගෙන්ද සලේ ඒ තොරතුරු ගත්තේ? තමිල් සෙල්වන් ගාවම ඉන්න මිනිහෙකුගෙන්.”

මෙතැනින් නොනවතින විමල් ඒ තොරතුරු ගත් හැටි ද පණ පිහිටුවා රසකර කියයි.

රටෙත් නොහිටි සලේ

විමල් හරි නම්, තමිල් සෙල්වන් ඝාතනය විය යුත්තේ 2019 දෙසැම්බරයෙන් පසුව ය. ගෝඨාභය විසින් සුරේෂ් සලේ ‘රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී’ කරන්නේ 2019 දෙසැම්බර් ය.

එහෙත් ඇත්තට ම තමිල් සෙල්වන් ඝාතනය කරන්නේ ඉන් වසර 12කට පෙර, 2007 නොවැම්බරයේ දී ය. 2007 ජනවාරියේ සිට යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතුරේ හිටියේ අමල් කරුණාසේකර ය. සරත් ෆොන්සේකා යටතේ තනතුරට පත්වන විට ඔහු කර්නල් ය. පසුව බ්‍රිගේඩියර් සහ මේජර් ජනරාල් නිල ලද්දේ ය.

2006 වසරේ පටන් යුද්ධය අවසන් වූ 2009 වසර දක්වා, එනම් යුද්ධයේ දරුණුතම අවදියේ සුරේෂ් සලේ හිටියේ ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් තනතුර දරමිනි.

ඒ අනුව, විමල්ගේ වාචාල කතාවේ විදියට පැරීසියේ තානාපති කාර්යාලයේ රාජකාරියේ නියුතුව සිටි සලේට 2007 නොවැම්බරයේ කොළඹ පැවැති ආරක්ෂක මණ්ඩලයේත් පෙනීහිටින්නට බැරිය. ආරක්ෂක මණ්ඩලය යනු එහෙම හිතුණු හිතුණු අය යන එන තැනක් නොවේ. නිත්‍ය සාමාජික පිරිසට අමතර කිසිවකු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වනවා නම් ඒ ජනාධිපතිවරයා ගේ (ආරක්ෂක ඇමැති වශයෙන්) කැඳවීමකට අනුව පමණි. ඒ අනුව පැරීසියේ සිටි සුරේෂ් සලේට ඔය කියන ආරක්ෂක මණ්ඩලයේ පෙනී හිටින්නට කිසිම විදියක් තිබූ බව පෙනෙන්නට නැත.

(සුරේෂ් සලේගේ පැරිස් රාජකාරි කාලයේ ශේෂ පත්‍රය මෙහි කතා නොකරමි.)

සරත් ෆොන්සේකා සලේ ගැන කී දේ...

මේ කියන කාලයේ හමුදාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකා දැනටමත් ප්‍රසිද්ධියේ කියා ඇති පරිදි ඒ වනවිට සලේ හිටියේ බුද්ධි අංශවලින් ‘පැත්තකට දමලා’ ය.

2023 සැප්තැම්බර් 21වෙනි දා සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී ද මේ බව කියා ඇත.

“දෙමළ කතාකරන්න පුළුවන් හින්දා සලේ බුද්ධි අංශයට අරගෙන තිබුණා. ඒත් කතාව මිසක් වැඩ කරපු මිනිහෙක් නොවන නිසා මං ඔහු යුද්දෙ කාලෙ බුද්ධි අංශවලින් පැත්තකට දාලයි තිබුණේ.”

මේ ෆොන්සේකාගේ ම වචන ය.

විමල් වීරවංශ ගේ අතේ පත්තු වන බොරු

මෙසේ පැත්තකට දමන ලද සලේ සිට ඇත්තේ ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ යටතේ ය. හෙන්දාවිතාරණගේ උපකාරයෙන් සලේ පැරීසියේ රාජකාරියට යන්නේ ඒ අතරතුර ය.

එසේනම්, එවකට හිටපු හමුදාපතිවරයා ම කියන විදියට බුද්ධි අංශයෙන් පැත්තකට දමා සිටි, ඒ වනවිට රටෙත් නොහිටි සලේ තමිල් සෙල්වන් මරාදමන්නට ‘ටාගට් එක’ අරන් දුන්නා යැයි විමල් වීරවංශ කියන්නේ අතේ පත්තුවන බොරුවකි.

තමිල් සෙල්වන් ඝාතනයේ ඇත්ත කතාව

sel

ශ්‍රී ලංකා හමුදා තමිල් සෙල්වන් ඝාතනය කිරීමට අදාළ ඉලක්කය ගන්නේ විමල් හීනෙන් බයවී කියවන විදියට සෙල්වන් ළඟට යවා සිටි ඔත්තුකරුවකු ගෙන් ලද තොරතුරක් අනුව නොවේ. සෙල්වන්ට පමණක් නොව එල්ටීටීඊ ආයුධ නැව් ගණනාවකට ද මහමුහුද මැද දී ඉලක්ක ගන්නට ලංකා හමුදාවට හැකිවූයේ විමලේ ගේ දේශද්‍රෝහී පඩිපෙළේ ඉහළම පඩියක ඉන්නා අමෙරිකාවේ උපකාරය හේතුවෙනි.

සැටලයිට් දුරකතන ඇසීමේ හෝ ඒවා ක්‍රියාත්මක වන ස්ථානය හඳුනාගැනීමේ තාක්ෂණය ඒ වනවිට ලංකාවට තිබුණේ නැත. එබැවින් එල්ටීටීඊය සිය අතිශය වැදගත් සන්නිවේදන කටයුතුවලට සැටලයිට් දුරකතන හැකි හැමවිටම යොදාගත්තේ ය. ලංකාවේ බලවත් ඉල්ලීම මත සහ එල්ටීටීඊය යුදමය වශයෙන් විනාශකර දැමීමේ අභිලාෂය පෙරදැරිව ඒ තාක්ෂණය ලංකාවට දුන්නේ අමෙරිකාව යි. මේ බව නොදත් එල්ටීටීඊය දිගටම සැටලයිට් දුරකතන භාවිත කළ අතර, තමිල් සෙල්වන් ඝාතනයට මෙන් ම මහමුදුදේ දී අවි ප්‍රවාහන නෞකා ඇතැමක් විනාශ කිරීමට ද උපකාරී වූයේ මේ තාක්ෂණය යි. මේ සැටලයිට් සංඥා ඔස්සේ එල්ටීටීඊ ඉලක්ක සොයාගැනීම සහ ඒවාට ප්‍රහාර එල්ලකිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය සිදුවූයේ අමල් කරුණාසේකර ප්‍රමුඛ යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයෙනි. මන්ද යත්, ඒ වනවිට ඒ තාක්ෂණ පහසුකම් තිබුණේ ඔවුන් සතුව පමණක් වූ බැවිනි.

මෙහිදී අමතක නොකළ යුතු, එසේ ම අපට නිරන්තරයෙන් වරනගන්නට සිදුවන තර්කය මෙය යි.

යුද්ධය වෙනුවෙන් ඒ ඒ සන්නද්ධ හමුදා නිලධාරීන් සිදුකළ රාජකාරි රණවිරු වැඩක්, ජාතිය බේරාගැනීමක් හෝ ඊටත් වඩා දේවකාරියක් ලෙස කවුරු ඇදහූවත්, එය ඒ නිලධාරීන් විසින් කරන ලද නීති විරෝධී ක්‍රියා ආරක්ෂා කිරීමට විත්ති වාචක ලෙස අධිකරණයක දී භාවිත කළ හැකි විදියක් අපි නොදනිමු. අමල් කරුණාසේකර යුද්ධයේ දී කළ දේ යුද්ධයට ආවඩන්නන් රණවිරු ක්‍රියාවක් සේ ඇදහුවත්, ලසන්ත ඝාතනය ඇතුළු අපරාධ රැසක් සඳහා කරුණාසේකරගේ ද මැදිහත් වීමෙන් ට්‍රිපොලි බුද්ධි අනුඛණ්ඩය මැර හමුදාවක් ලෙස මෙහෙයැවී ඇතැයි යනුවෙන් එල්ලවන චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට අර රණවිරු කතා ඉදිරියට දමන්නට බැරි ය. ෆොන්සේකා යුගයේ දී සුරේෂ් සලේ ගේ ආරක්ෂකයකු වශයෙන් කටයුතු කළ හෙන්දාවිතාරණ යනු ද මේ රාජපක්ෂ යුගයේ රාජ්‍ය අපරාධ ගණනාවක තවත් ප්‍රබල හවුල්කරුවකු බවට නිරන්තරයෙන් නම කියැවෙන නිලධාරියෙකි. ඔවුන් යුද්ධයේ දී කළ කී දෑ මත මේ කියන චෝදනා අහෝසි වන්නේත් නැත. වැඩිදියුණු වන්නේත් නැත.

සලේ මිනීමරුවෙක් කරන විමලේ

Wimal

විමල්ගේ ඊළඟ ගල්පැළෙන බොරුව නම් සුරේෂ් සලේ සහරාන් ගේ උදව්වෙන් එල්ටීටීඊයේ නැගෙනහිර දේශපාලන ප්‍රධානී කෞෂල්‍යන් මරා දැමූ බව කීම ය.

‘සලේ මරන්න එපා!’ කියා තඩි අකුරෙන් බැනරයකුත් එල්ලාගෙන විමල් ඇදබාන මේ ගජබින්නයට අනුව නම් සුරේෂ් සලේ යනු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු වී එල්ලුම්ගස් යා යුත්තෙකි‍‍. මරන්න එපා කියා බෝඩ් ගසාගත් විමලේ මේ හදන්නේ සලේ එල්ලුම්ගස් අරින්නට ය.

කෞෂල්‍යන් ඝාතනය; බොරුව සහ ඇත්ත

එල්ටීටීඊ සංවිධානයේ අම්පාර - මඩකළපු දේශපාලන අංශ ප්‍රධානී එළියතම්බි නාගේන්දිරන් ලිංගරාජා හෙවත් කෞෂල්‍යන් ඝාතනය කැරෙන්නේ සටන් විරාම ගිවිසුම බලපැවැත්වුණු සමයේ, 2005 පෙබරවාරි 7වැනිදා රාත්‍රියේ ය‍‍. ඒ ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශයේ පිහිටි පොළොන්නරුවේ සිට තිරුක්කෝවිල් දක්වා වැටෙන මාර්ගයේ නාමල්ගම හමුදා කඳවුර ආසන්නයේ පිල්ලෙයාර්අඩි නම් ප්‍රදේශයේ දී ය. කිලිනොච්චියේ පැවැති පශ්චාත් සුනාමි සහන හා ප්‍රතිසාධන කටයුතු පිළිබඳ රැස්වීමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටිය දී, ඔවුන් ගමන්කළ වාහනයට ප්‍රහාරයක් එල්ල කරමින් මේ අන්දමින් ඝාතනය කළේ කෞෂල්‍යන් පමණක් නොවේ. ඔහු සමග එම වාහනයේ ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අරියනායගම් චන්ද්‍රනේරු ඇතුළු තවත් 5 දෙනකු මෙහි දී ඝාතනය කලේ ය.

යුදවැදී සිටින දෙපාර්ෂවයක් අතර නිල සටන් විරාම ගිවිසුමක් බලපැවැත්වෙන කාලසීමාවක දී, කිසියම් පාර්ශවයක පාලනයට නතුව තිබෙන කලාපයක දී ප්‍රතිවිරුද්ධ පාර්ශ්වවල පුද්ගලයින්, එකිනෙකා අතර වෙඩි හුවමාරුවක් වැනි අවි හරඹයක් නොවන අවස්ථාවක දී ඝාතනය කැරුණොත් එය සැලකෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වශයෙනි. ඒ අනුව කෞෂල්‍යන්, චන්ද්‍රනේරු ඇතුළු පිරිස ඝාතනය කිරීම සැලකෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන ලෙස මිස යුද්ධයේ දී සිදුවූ ‘සාවද්‍ය නොවන ඝාතන’ ‘හමුදා ක්‍රියාන්විතයේ දී සිදුවන ඝාතන’ ආදී ලෙස නොවේ. ‍

කෞෂල්‍යන් සහ චන්ද්‍රනේරු ඇතුළු මේ පිරිස ගේ ඝාතනය එකල දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වූයේ රජයේ පාලන කලාපයක සිදුවූ සටන් විරාම ගිවිසුම කඩකිරීමේ මනුෂ්‍ය ඝාතන ක්‍රියාවක් ලෙස එය සලකන ලද බැවිනි. සටන් විරාමය අතරතුර ඒ තාක් ඝාතනය වූ ජ්‍යේෂ්ඨතම එල්ටීටීඊ ක්‍රියාධරයා ලෙස සැලකුණේ ද කෞෂල්‍යන් ය. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ එල්ටීටීඊයෙන් කැඩී ගිය කරුණා පාර්ශ්වයට යි. දැනට අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ පසුවන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව එල්ලවන මනුෂ්‍ය ඝාතන චෝදනා අතර මෙම පිරිස ගේ ඝාතන ද ප්‍රමුඛ ය.

Pilleyan

මේ ආකාරයෙන් කෞෂල්‍යන් ඝාතනය කළේ සුරේෂ් සලේ බව කීමෙන් විමල් කරන්නේ සලේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පුද්ගලයකු ලෙස නම්කිරීම යි. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යනු එල්ලුම්ගස් යන අපරාධයකි. ඒ අනුව සලේ මරන්න එපා යැයි බෝඩ් ගසාගෙන ගිරිය පුප්පාගෙන කෑගසන විමල් හදන්නේ සලේ එල්ලුම්ගස් අරින්නට ය.

අතේ පැළවෙන වීරවංශමය තවත් බොරුවක්

අනෙක් අතට සුරේෂ් සලේ මේ ඝාතනය සිදුකරන්නේ සහරාන් හෂීම්ගේ උපකාර ලබාගෙන බව ද කියමින් විමලේ සහරාන්වත් ඊනියා ‘රණවිරුවෙක්’ කරන ආසන්නයට ම දක්කාගෙන යයි. මෙය ද අතේ පැළවෙන වීරවංශමය බොරුවකි. කෞෂල්‍යන් ඝාතනය කැරෙන 2005 පෙබරවාරි වනවිට සහරාන් යනු වයස 18ක තරුණයෙකි. ඔහු හමුදා බුද්ධි අංශ සමඟ කිසියම් සබඳතාවක් පවත්වාගන්නා බවක් පෙනෙන්නේ අවම වශයෙන් 2010න් පමණ අනතුරුව බව ද, ඒ සබඳතා තර වී බුද්ධි අංශ වෙතින් පෝෂණය වන තත්ත්වයක් නිර්මාණය වන බව පෙනෙන්නේ 2012න් පමණ පසුව බව ද තොරතුරු සොයාබැලීමේ දී පෙනී යයි. ඒ අනුව පැහැදිළිව පෙනෙන්නේ, එල්ටීටීඊ දේශපාලන නායක තමිල් සෙල්වන් ඝාතනයට හෝ එහි මඩකළපුව – අම්පාර දේශපාලන නායක කෞෂල්‍යන් ඝාතනයට දැනට අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ ගේ කිසිදු සම්බන්ධයක් ඇතැයි තහවුරු නොවන බව ය.

සලේ ‘රණවිරුවකු’ යයි සිතන සහ සෙල්වන්, කෞෂල්‍යන් වැන්නන් ඝාතනය කිරීම ‘රණවිරුකම්’ කියා අදහන වීරවංශ පන්නයේ අයට මේ කාරණයේ දී කියන්නට තියෙන්නේ ‘සොරි’ කියලා ය.

sanath balasooriya

 

සනත් බාලසූරිය

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න