විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවය.
එහිදී පොල් තෙල් ලීටර් 27,500ක් අත්අඩංගුවට ගෙන ඇත. වාර්තා වන ආකාරයට තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.
රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.
එම තෙල් බවුසර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රඳවා තිබිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බවුසර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය වැඩිදුරටත් පවසයි.
අදාල බවුසර් රථ දෙක ‘එදිරිසිංහ එජාබල් ඔයිල්ස්’ සමාගමේ රථ වන අතර එම සමාගම විසින් ගෙන්වන ලද පොල්තෙල් පිලිකාකාරක අඩංගු යයි ප‍්‍රති අපනයනයට නියෝග කර තිබේ.
කෙසේවුවත් පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් වෙළඳපොල වෙත නිකුත්වී ඇද්ද යන්න සම්බන්ධව කැබිනට් තීරණ දැනුම්දෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් විමසු විට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ බහාලුම් නිදහස් කළ බවට තවමත් කිසිම තොරතුරක් නැති බවත් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුවන බවය.

