බැඳුම්කර මරාලේ රවී පිට ? සිරිසේනට සොරි වුනෙත් ඔතන !

බැඳුම්කර මරාලේ රවී පිට ? සිරිසේනට සොරි වුනෙත් ඔතන !
'' මේක ඇත්ත හොරු සඟවන ඩ්‍රාමා එකක්. මේ ආණ්ඩුවට ප්‍රශ්න යටගහන්න නාට්‍යනුසාරයෙන් රඟදක්වන යමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි බැඳුම්කර මරාලේ අයෙත් උඩට අරන් තියන්නේ.  බැඳුම්කර මරාලේ රවී පිට තියලා ෂේප් වෙන්න තමයි හදන්නේ ...'' යයි ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ පවසයි.
 
නිදහස් මාධ්‍යවේදියකු වන ඔහු එබව කියා සිටියේ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි දේශපාලන මෙහෙයුම සම්බන්ධයෙන් SLVLOG සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
 
ඒ සම්බන්ධව දර්ශන හඳුන්ගොඩ ඉදිරිපත් කළ අදහස් දැක්වීම පහත වීඩියෝවේ දැක්වේ.

බැඳුම්කරේ රවීගේ කරේ බඳින්න ගිය සිරිසේනට වුණ වැඩේ !
 
 සැබවින්ම පාස්කු ප්‍රහාරය එල්ලවී දෙවසරක් ගතවීමට තවත් ඇත්තේ සති 3කට අඩු කාලයකි.  මේ ආණ්ඩුව බලය ගත්තේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කඩිනමින් නීතිය හමුවට ගෙන එනවා කියමින් වුවත් එවැන්නක සලකුණක්වත් දකින්නට නොමැත. නමුත් ලංකා ඉතිහාසයේ රාජ්‍ය ආදායමට අදාළ විශාලතම බදු අහිමි කරගැනීම සහ එකී මුදල් ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලැබීමට අවස්ථාව සැලසූ බවට චෝදනා නැගී ඇති කුප්‍රකට සීනි බදු සංශෝධනය සේම මේ වන විට පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය, පරිසර විනාශය ඇතුළු චෝදනා රැසක් ආණ්ඩුවේ ගිණුමට බැරව තිබේ.
 
එවැනි පසුබිමක ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ආණ්ඩුවට සෘජුව චෝදනා එල්ලවී ඇති සිදුවීම් සම්බන්ධව යුක්තිය ඉටුවන බවක් ජනතාවට දැනෙන ආකාරයට ක්‍රියාවට නැංවීම වුවත් එවැන්නක් ආණ්ඩුව තුළින් සිදුනොවීම පුදුම සහගතය. ඉතිහාසයේ කිසිඳු ආණ්ඩුවක් සිදුනොකළ ආකාරයට වරෙක දේවානි නම් වන සංරක්ෂණ නිලධාරිනිය සමඟ හැප්පෙන ආණ්ඩුව තවත් වරෙක භාග්‍යා වැනි නවයොවුන් තරුණියකගේ ප්‍රකාශයක එල්ලී සිටින බවත් ඒ හරහා සිදුවන්නේ ආණ්ඩුව ලබා ඇති ජනතා අප්‍රසාදය තවතවත් උග්‍රවීම පමණක් බවත් ආණ්ඩුව තේරුම් ගතයුතුව ඇත.
 
ප්‍රශ්නගත  බැඳුම්කර ගනුදෙනුව වුවත් නිවැරදි දිශානතියක් ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවා නම් එය ආණ්ඩුවට ජනතා අප්‍රසාදය අවම කරගැනීමට සහ 69 ලක්ෂයේ අපේක්ෂා භංගත්වයට පිළිතුරක් ලෙස ඉදිරියට ගැනීමට හැකියාව තිබීම ප්‍රතික්ෂේප කළ නොහැකි නමුත් මේ දියත්ව ඇත්තේ තවත් ට්‍රැජි කොමඩියක් බවට පත්වීමට නියමිත ක්‍රියාවලියකි. වෙනත් වටයකින් එය අනාගතයේ දේශපාලන පළිගැනීමක් ලෙස හැඳින්වීමට බොහෝ දුරට අවස්ථාව හිමිවන ක්‍රියාවලියකි. 
 
ඒ හිටපු අමාත්‍ය රවී කරුණානායක හිරේ දමාගෙන ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ජනතාවට දුන්න පොරොන්දුව ඉටුකිරීමට යාම නිසාය. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන හෝ අවධානය යොමුකලා නම් මීටවඩා දියුණු මැදිහත්වීමක් හරහා "කිව්ව දේ කර පෙන්වූ ආණ්ඩුවක්" ලෙස ජනතාව හමුවට යාමට ආණ්ඩුවට අවස්ථාව හිමිවන්න ඉඩ තිබුණි. 
 
මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්වූ සැනින් ප්‍රශ්නගත ගනුදෙනුව සිදුවූ අවස්ථාවේ රවී කරුණානායක මුදල් ඇමති වූ නිසාම රවීට තලා ගොඩයන්න ගිහින් හත්පොලේ ගාගත් ඉතිහාසයක් ඇත. ජනාධිපති විමර්ශන වාර්තාවේ රවී කරුණානායක සම්බන්ධව නිර්දේශ දෙතැනක ඇති නමුත් ඒ කිසිවක රවී කරුණානායක බැඳුම්කර ගනුදෙවට අදාළ චූදිතයකු කර නොමැත. එනිසා "හේන මුවන් කා දැමීම නිසා ගෙදර ඇති මුව හමට තලන්න" පන්නයට ලැබෙන උපදේශ වලින් ආණ්ඩුව පරිස්සම් විය යුතුය.
 
යහපාලන සමයේ රවී - සිරිසේන මතභේදකාරී තත්ත්වය හමුවේ එවකට ජනාධිපති සිරිසේන දන්න කියන ගොඩක් නීතිවේදීන් ගෙනවිත් බැඳුම්කරය රවීගේ පිටේ ගැටගසා ලකුණු දාගන්න උත්සාහ කළත් එය අසාර්ථක බවට ජෙෂ්ට නීතිඥයන්ගේ අදහස විය. අවසානයේ හත්පොලේ ගාගත්ත සිරිසේන ජනාධිපති කළේ රවීට අමාත්‍යාංශයක් නොදී සිටීමය. පසුව රවීට අමාත්‍යාංශයක් ලැබුණ අතර සිරිසේන ජනාධිපතිට සොරි විය. එදා සිරිසේන ජනාධිපති අමතක කරගත්තේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ දේශපාලන මඩ වැදුණු සැනින් එවකට රවී කරුණානායක තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවය. කැබිනට් ඇමතිලා එසේ ආවාට ගියාට කැබිනට් අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වැන්නේ නැත. කුණු බිඳක් හෝ තිබුණානම් එවැන්නක් ගැන හිතන්නෙත් නැත. එනිසා බැඳුම්කර ගනුදෙනුව කරට ගෙන දේශපාලනය කරන්න යාම අහිතකර බවට අවශ්‍ය නම් සිරිසේන ජනාධිපතිගෙන්ම උපදෙස් ගැනීමට ආණ්ඩුවට හැකිය. 
 
බැඳුම්කරය රවීගේ කරේ බඳින්න ගිහින් පටන් ගත්ත ආරෝව අවසානයේ දින 52 ව්‍යවස්ථා විරෝධී පාලනයක් ලෙස කළු පැල්ලමක් දක්වා ඇදුනු ඇදිල්ල එවිට ඔහු කියනු ඇත.  
 
එපමණක් නොව ඔය බැඳුම්කර ගනුදෙනුව නිසාම මෙරට සිදුවූ බැඳුම්කර ගනුදෙනු වලට අදාළව පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් හරහා  වෝහාරික විගණනයක් සිදුකර ඇති අතර එය දේශපාලන කරළියේ නැවත මාතෘකාවක් වීමත් වළක්වා ලිය නොහැකි වනු ඇත. එය නම් වත්මන් ආණ්ඩුවට කොහෙත්ම හිතකර නැත. එනිසා බැඳුම්කර ගනුදෙනුව දේශපාලන බෙරයක් කරගන්න පෙර ඒ ගැන අවම හෝ අධ්‍යනයක් කිරීම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යට වැදගත් වනු ඇත.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න