අල්ලස් පනත යටතේ දූෂණ චෝදනාවක් එල්ල වී සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකු නිදෙස් කොට නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ එම නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂීණී සේනානායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දීම නිසාය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වගන්තිය යටතේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු යන අය නිදොස් කොට නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2010 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ එම මස 30 වනදා අතර කාලය තුළ ලංකා විදුලි සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගැනීමට නිසි උපදෙස් ලබා නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. ඩී නවාස් සහ මත අංශයේ හිටපු ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

