බහුතරය ආණ්ඩුවට නම් මාව පටලවා ගන්නේ ඇයි : ජිනීවා අවනඩුව මංගල ලිහයි !

බහුතරය ආණ්ඩුවට නම් මාව පටලවා ගන්නේ ඇයි : ජිනීවා අවනඩුව මංගල ලිහයි !

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ජිනීවාහි ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගනු ලැබුවත් එම යෝජනාවට බහුතරය නොමැති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසූ නමුත් ඒ සමඟ හිටපු විදෙස් අමාත්‍යවරයකු වූ මංගල සමරවීර රට පාවාදුන් බවට චෝදනාවක්ද ආණ්ඩුවේ පාර්ශව ඉස්මතු කරනු ලැබූ අතර අද (31) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊට ප්‍රතිචාර දක්වනු ලැබීය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ තමන් 2015 වසරේ විදෙස් අමාත්‍යවරයා ලෙස පත්වන විට 2014 වසරේදී  ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මතව තිබූ බවත් ඊට අනුව ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සහ දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධව විමර්ශනය කිරීම වෙනුවෙන් කමිටුවක්ද පත්කර තිබූ බවය.

ජිනීවා විදුලි පුටු කතාව මහින්ද කිව්වේ කමිටුවකට බය වෙලා !

2015 ජනාධිපතිවරණයේ පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවස්ථාවේ  තමන්ව ජිනීවා විදුලි පුටුවට යැවීමේ සූදානමක් ඇති බව කියමින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ රටවටේ කියමින් ගියේ ඒ ගැන බවත්, ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක හැර විදුලි පුටු දඬුවමක් බටහිර රටවල ක්‍රියාත්මක නොවන නමුත් විදුලි පුටු ප්‍රචාරයේ හේතුව අදාළ කමිටුව විමර්ශන කටයුතු ආරම්භ කර ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් සැපයුවා නම් නිශ්චිත පුද්ගලයන් කිහිපදෙනෙකුට වැටෙන සංචාරක තහංචි ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමේ අවධානම බවද ඔහු අවධාරණය කර සිටියේය.

ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා සිටියේ 30/1 යෝජනාව හරහා එවකට ආණ්ඩුව කටයුතු කළේ ජාත්‍යන්තරයට විකිණීතිබු මෙරට ස්වෛරීත්වය නැවත අත්පත්කර ගැනීම බවත් මෙරට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට දේශීය යාන්ත්‍රණයක් හරහා එය සිදුකිරීමේ අවස්ථාව ගෙන අර්බුදයට ගොස්තිබු මෙරට විදෙස් සම්බන්ධතා යළි සකසා ගැනීම බවය.

30/1 යෝජනාවේ වචනයක් ගානේ සිරිසේන ජනාධිපතිව දැනුවත් කළා !

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද 30/1 යෝජනාව ගැන විවිධ කතා කියා සිටියත් එහි ඇතුලත් කරුණු සම්බන්ධව වචනයෙන් වචනය දැනුවත් කල බවය. 

"2009 යුද්ධය අවසානයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වෙත මෙරටට එන්න කියා ආරාධනා කරනවා. ඊට පස්සේ ඒකාබද්ධ නිවේදනයකුත් නිකුත් කරනවා. ඒ අනුව කටයුතු නොකිරීම නිසයි 2009 දී ජිනීවා දිනපු ලංකාවට එරෙහිව දිගින් දිගටම ජිනීවා හිදී යෝජනා සම්මත වෙන්නේ. 2014 වන විට අපේ රටට GSP + සහනය අහිමි කරලා, යුරෝපාවට මත්ස්‍ය අපනයනය කිරීම වළක්වලා, ජාත්‍යන්තරය තුළ ලංකාව කොන් කරලා තිබුණේ. ඒ මොහොතේ ඉතාම අවධානම් සහගත තැනක රට තිබුණේ. මේ පාරට වඩා නැත්නම් ඒ හා සමාන අවධානමක් රට හමුවේ තිබුණා. මට ගැහුවේ ජාත්‍යන්තර විමර්ශනයක් වෙනුවට දේශීය යාන්ත්‍රණයක් හරහා අදාළ විමර්ශන කරන්නම් කියලා මානව හිමිකම් කවුන්සිලය එකඟ කරගත්තට."

පොඩි ලිඳක ඉන්න තඩි ගෙම්බෙක් වෙලා රට සංවර්ධනය කරන්න බෑ !

" අපිට වසරෙන් වසර අපේ ජාත්‍යන්තර මිතුරන් අඩු වෙමින් තිබුණේ. අර ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්න බෑනේ. පොඩි ළිඳක ඉන්න ලොකු ගෙම්බෙක් වෙලා තේරුමක් නෑ. ඒ ගෙම්බට වැඩකුත් නෑ, ලිඳට වැඩකුත් නෑ, ලිඳේ ඉන්න ඉනිත් ගෙම්බන්ටත් වැඩක් නෑ. 2014 වන විට අපිට එරෙහිව හිටපු රටවල් සියල්ල අපේ යෝජනාවට එකඟ කරගන්න හැකිවීම ජයග්‍රහණයක් නෙවෙයිද ? මට  විරුද්ධව ටියුෂන්කාරයන්, වොයිස්කට් සාදුලා යොදවා චෝදනා කලාට ඇත්තටම මමයි LTTE සංවිධානයේ මරණ තර්ජනයට ලක්වෙලා හිටියේ. චන්ද්‍රිකා ජානාධිපතිනියගේ පාලන සමයේ මම පටන් ගත්ත සුදු නෙලුම් ව්‍යාපාරය, යාපනය පුස්තකාලය හදවන්න පටන් ගත්ත "පොතයි ගඩොලයි" වැඩසටහන නිසා LTTE ය අවුල් වෙලා හිටියේ. ඒ නිසා තමයි මහ මැතිවරණය වෙලාවේ, මම, චන්ද්‍රිකා ජනාධිපතිනිය, රත්නසිරි වික්‍රමනායක, අනුරුද්ධ රත්වත්තේ, අනුර බණ්ඩාරනායක ගෙදර ඉඳලා ජන්දය දෙන්න අවස්ථාව ලබා දෙමින් ගැසට් පත්‍රයක් පවා නිකුත් කෙරුණේ. ඊළඟට මහින්ද ජනාධිපති සමයේ  විදෙස් ඇමති ලෙස ඉටුකළ කාර්ය නිසාත් LTTE ය මා සමඟ උරණව හිටියේ."

රටේ ප්‍රතිරූපය හදන්න පෞද්ගලික සම්බන්ධතා පවා යොදාගත්තා !

"එදා මහින්ද ජනාධිපතිගේ ආණ්ඩුවේ විදේශ ඇමති ලෙස  මම ලංකාව සම්බන්ධව ජාත්‍යන්තරයේ තිබුණු නරක ප්‍රතිරූපය යළි සැකසුවේ මගේම ඇමරිකාව ඇතුළු රටවල් සමඟ මගේ තිබුණ පෞද්ගලික සම්බන්ධතා පවා යොදා ගනිමින්. ඒ විදියටම තමයි 2015 දීත් විදෙස් ඇමති ලෙස දිව්රුම් දීලා දින කිහිපයක් යනකොට ලංකාව සම්බන්ධව ජිනීවා වල 2014 සම්මත කළ යෝජනාව වෙනස් කරගන්න කටයුතු කළේ. ඒ වෙලාවේ තිබුණේ භයානක තත්ත්වයක්. ආර්ථික සම්බාධක වගේම ජාත්‍යන්තරව හුදකලා වෙමින් රට තිබුනේ. බොරු චෝදනා කලාට මම නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන් ඒ විදෙස් සම්බන්ධතා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් බිහිකිරීමට හැකිවීම ගැන. මහින්ද ජනාධිපති සමයේ අත්හිටුවා තිබුණ GSP + සහනය නැවත ගන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් ඇතුව යුරෝපා නායකයන් සමඟ සාකච්ඡා කරලා අපේ රටේ මත්ස්‍ය ආනයනය සම්බන්ධ වාරණය ඉවත් කරගන්න හැකි වුණා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ යුද හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කටයුතු වලට එකතු කරන්නත් හැකි වුණා."

බංගලිදේශයට ගියත් ණයක් ඉල්ලන තැනට වැටිලා !

" දැන් මොකද වෙලා තියෙන්නේ. 2014 ට සමාන හෝ ඊටත් නරක තත්ත්වයක් මතුවෙලා. අපිට ලෝකයෙන් හුදකලාව සංවර්ධනය වෙන්න බෑ. අපි ලෝකයත් එක්ක එකට යන්න ඕන. අද ජිනීවා වල අපිට විරුද්ධව ඉන්න රටවල් සමඟ තමයි අපේ වෙළඳ සම්බන්ධතා වලින් 64% කට වඩා තියෙන්නේ. එරිත්‍රියාව වගේ ඒකාධිපති  රටවල් තමයි දැන් අපි එක්ක ඉන්නේ. දැන් අපේ අගමැතිට බංගලිදේශයට ගියත් එහෙනුත් ණයක් ඉල්ලන්න වෙන තැනට පත්වෙලා. ඒ නිසා ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕන. අවස්ථාවාදී බොරු දේශප්‍රේමයේ සහ සැබෑ දේශප්‍රේමය තියෙන්නේ කාටද කියලා තේරුම් ගන්න ඕන."

ජාත්‍යන්තර වටකිරීම වළක්වා ගත්තේ 30/1 යෝජනාව හරහා !

මෙහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ 30/1 යෝජනාව බටහිර රටවල් ගෙනා යෝජනාවක් නේද යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසා සිටියේ " 2014 දී  ලංකාවට එරෙහිව විදෙස් විමර්ශනයක් කිරීමට යෝජනාව සම්මත කර ඊට අදාළ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටක් ලෙස ඇති බැඳීම් හරහා ලංකාව එකඟ වුණත් නැතත්  අදාළ විමර්ශන වෙනුවෙන් මෙරටට පැමිණ කටයුතු කිරීමේ ප්‍රතිපාදන සකස්කර දී තිබූ පසුබිමක 30/1 වැනි යෝජනාවක් ගෙන ඒමට අලුත් අවශ්‍යතාවක් එම රටවලට මොකටද?" යන්නය.

ජාත්‍යන්තරයට බොරු පොරොන්දු දී , මෙරට අධිකරණ පද්ධතිය පවා ස්වාධීන නැති බවට තහවුරුව තිබූ පසුබිමක, විදෙස් රටවල් තුළ අධිකරණ පද්ධතිය ස්වාධීන කරන බව ඇතුළුව ජාත්‍යන්තර විමර්ශනයක් වෙනුවට දේශීය යාන්ත්‍රණයක් යෝජනා කර එයට ඇමරිකාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 40 ක පමණ සම දායකත්වය ගැනීම  නැතිව, දුර්වලව ගිය ජාත්‍යන්තර සම්බන්ධතා වල ලද ජයග්‍රහණයක් බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න