ස්වදේශිකත්වයට පණ දෙමින් පැවති 70-77 සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ වැටුණේ ෆීලික්ස් ඩයස් අමාත්‍යවරයාගේ උද්දච්ච ක්‍රියාකලාපය නිසා බව කියමින් අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ අදහස් දැක්වීමක් සම්බන්ධව දේශපාලන කරළියේ අවධානයක් යොමුව ඇත.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මේ අදහස් දැක්වීම සිදුකර ඇත්තේ කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමින් වන අතර එවකට ආණ්ඩුවේ සිටි වමේ පක්ෂ එළවා දමා තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ෆීලික්ස් ඩයස් කල්පනා කළ බවත් අවසානයේ සිදුවූවේ 1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08ට පල්ලම් බැස එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහි වීම බවත් එහිදී පවසා ඇත.
ෆීලික්ස් ඩයස්ගේ එම උද්දච්ච හැසිරීම නොවේ නම් සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ නොවැටෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා නූතන දේශපාලනය තුළද ෆීලික්ස් ඩයස්ලා සිටිය හැකි බවත් ඔවුන් හරියට හඳුනාගෙන කල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් සඳහන් කර තිබේ.
"සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි වාමංශික පක්ෂ එළවා දම තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න පුළුවන් වෙයි කියලා ෆීලික්ස් ඩයස් හිතුවා. අන්තිමට 77 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ට බැස්සා. වත්මන් දේශපාලන තුළත් එවැනි ෆීලික්ස් ඩයස්ලා ඉන්න නිසා ඔළුව කල්පනාවෙන් සිටිය යුතුයි." එහිදී අමාත්‍යවරයා පැවසීය.
බැසිල් - විමල් ගෝරිය යළිත් කරළියේ !
මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ බිඳ වැටීමට හේතුවූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකව විමල් ඇමති උපමා කරන්නේ වත්මන් ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ බවය. එදා සිරිමාවෝ අග්‍රාමාත්‍යවරියගේ ආණ්ඩුව තුළ ෆීලික්ස්ට තිබූ බලයටත් වඩා වැඩි බලයක් මේ ආණ්ඩුවේ බැසිල්ට ඇති බවත් ඒ හැර වෙනත් අයෙකු මේ උපමාවට සමාන නොවන බවත් විචාරක මතයවී තිබේ.
පසුගිය සාමය තුළ බැසිල්-විමල් ගැටුමක් ප්‍රසිද්ධියේ පැවති බවත් එම විරෝධතා මත දැක්වීමෙන් ටික දිනක් යන තැන විමල් ඇමති නිහඬ වූ නමුත් බැසිල් රාජපක්ෂගේ ගෝලයන් දියත්කළ විමල් විරෝධය අඛණ්ඩව පැවති බවත් විචාරක නිරීක්ෂණය වී ඇත. ඒ අනුව විචාරකයන් පවසන්නේ නිහඬව සිටීම තුළ තමන්ට ඇති විය හැකි හානිය සම්බන්ධව ගණන් බලා විමල් වීරවංශ අමාත්‍යවරයාද පෙරළා ප්‍රතිචාර දැක්වීමක් සිදුකර ඇති බවය.
මේ වන විට පොදුජන පෙරමුණ ක්‍රමයෙන් තම සන්ධානයට එකතු කරගත් පක්ෂ දියකර අත්හැර දමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඒ හමුවේ එකී පක්ෂ දැඩි අර්බුදයකට ගමන් කරමින් සිටින බවත් දේශපාලන විචාරකයන් පවසයි.

