ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන කේ. ඩී. අජිත් සිසිර කුමාර යන විත්තිකරුවන් දෙදෙනා අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (01) නියෝග කළේ ය.
ඒ , කළුගල් කැනීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 7 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ 6 ක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 8 ක් යටතේ පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ය.
විත්තිකරුවන්ට එරෙහිව තම කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනා පත්‍රයේ පවතින තාක්ෂණික දෝෂයක් නිසා චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව ප්‍රකාශ කළේ ය.
එම විත්තිකරුවන්ට ඇප ලබාදීමේදී පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ කොන්දේසිය ඉවත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.
මේ වන විට අල්ලස් කොමිසම ගොනුකර තිබු නඩු වල තාක්ෂණික දෝෂ හේතුවෙන් එකී නඩු ඉල්ලා අස්කෙරෙන තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඒ නඩු වත්මන් පොදුජන පෙරමුණේ ප්‍රබලයන්ගේ වීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයන් පවසයි.

