හදිසි මරණ පරීක්ෂක පුරප්පාඩු පිරවීම ගැන වැරදි මතයක්

හදිසි මරණ පරීක්ෂක පුරප්පාඩු පිරවීම ගැන වැරදි මතයක්

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැදවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මතයක් ප්‍රචාරය කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව පෙනී ගොස් ඇතැ‍යි අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ සම්බන්ධව පවතින නිවැරදි තත්වය පැහැදිලි කිරීම අරමුණු කර ගනිමින් අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සදහන් වන්නේ අලුතින් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්ය.

පුරප්පාඩු වී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ වෙනත් නියෝගයක් වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත් කොට නොමැති අතර සිදු වී ඇත්තේ දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇති වන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ අයදුම්පත් කැදවා පුරප්පාඩු පිරවීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් වේ.

2018 වර්ෂයේදී හදිසි මරණ පරීක්ෂවරුන්ගේ කාර්යභාරය වඩා කාර්යක්ෂම කිරීම සදහා එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය විසින් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශය අනුව විවිධ ගැටලු හදුනා ගෙන ඇත. පැය 24 ක කාලයක් තුළදී මුස්ලිම් ජනතාවගේ භුමදාන කටයුතු සිදු කළ යුතු බැවින් මරණ පරීක්ෂකවරුන් කාර්යාල කාල සීමාවන් තුළදී පමණක් රාජකාරී කිරීම හේතුවෙන් ගැටලු මතුවන බව 2018 වර්ෂයේ දී පත් කරන ලද එම කමිටුවේ නිර්දේශයන් අතර විය. ඒ අනුව 2018 වර්ෂයේ දී පත් කරන ලද එම කමිටුව විසින් යෝජනා කර තිබුණේ බහු වාර්ගික ප්‍රාදේශීය බල ප්‍රදේශ 88 ක් සදහා බහුජන වර්ග නියෝජනය වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම යෝග්‍ය බවයි.

ඒ අනුව දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ පුරප්පාඩු පිරවීම හැර කිසිදු තනතුරක් අලුතින් ඇති කිරීම හෝ ඒ සදහා නියෝගයක් නිකුත් කිරීමට වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් පියවර ගෙන නොමැති බව ද අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න