රන්ජන්ගේ මන්ත්‍රී ධූරය : අවසන් උත්සාහයත් වතුරේ !

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය : අවසන් උත්සාහයත් වතුරේ !

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක  විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සඳහන් කළේ මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.

සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා  සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිර දඬුවම් නියම වී සිටින තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවය.

තමන්ට සිර දඬුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා  මීට පෙර එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණි.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා   පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රන්ජන් රාමනායක   ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නාය.

අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව අධිකරණය විසින් අදාළ තීන්දුව ලබා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න