ජුනි 26, ජාතික බලශක්ති දිනය කර අලුත් බලශක්ති සැලැස්මක් හදනවා - අමාත්‍ය ඩලස්

ජුනි 26, ජාතික බලශක්ති දිනය කර අලුත් බලශක්ති සැලැස්මක් හදනවා - අමාත්‍ය ඩලස්

ජුනි මාසයේ‍ 26 වෙනිදා ජාතික බලශක්ති දිනය විදියට ප්‍රකාශයට පත්කිරීමට අපි සැලසුම්කරලා තියෙනවා. එහෙම දිනයක් අපේ කැලැන්ඩරයේ තිබුනේ නෑ. එදා මම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා ජුනි මාසේ 12 වැනිදා ජාත්‍යන්තර නිපුණතා දිනය බවට පත්කර ගත්තා. අද එක්සත් ජාතීන්ගේ කැලැන්ඩරයේ ජාත්‍යන්තර දිනයක් විදියට තියෙන්නේ, ලංකාවෙන් ගියපු එක යෝජනාවයි. ඒ ජුනි මාසේ 12 වැනිදා ලංකාවේ දරුවන්ට අපි තාක්ෂණ විෂය ධාරාව හඳුන්වලා දීපු දවස. එදා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමතිවරයා විදියට මගේ යෝජනාව බෑන් කී මූන් මහලේකම් තුමා පිළිඅරගෙන ජාත්‍යන්තර කැලැන්ඩරයට ඇතුලත් කළා යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

කඹුරුපිටිය, කුඩගලහේන ප්‍රදේශයෙහි අභිනවයෙන් ඉදිකරන ලද නව දිවා රාත්‍රී, වොලිබෝල් ක්‍රීඩාංගනය ජනතා අයිත්යට පත්කිරීමේ වැඩසටහනට සහභාගී ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ජාත්‍යන්තර බලශක්ති දිනයක් තියෙනවා. හැබැයි අපට එහෙම දිනයක් තිබ්බේ නෑ. ඒ සඳහා අපි ජුනි 26 වැනිදා තෝරාගත්තා. මේ දිනය අපි තෝරගත්තේ කුමක් නිසාද කියලා කියනවනම් ජුනි 26 තමයි ලංකාවේ මිනිස්සු පළවෙනි වතාවට විදුලි බල්බයක් දැක්කේ. ඒ 1890 ජුනි මාසේ 26 වැනිදායි. ඒ තාක් ලංකාවේ කිසිම කෙනෙක් දැල්වෙන විදුලි බුබුලක් දැකලා තිබුනේ නෑ. 1890 කොළඹ වරායට ජර්මන් රටට අයිති නැවක් ආවා එස්.එස්.හේලියෝස් කියලා. ඒ වකවානුව වෙන කොට ලංකාවේ පුවත්පත් ගුවන් විදුලිය තිබුනේ නෑ ඒත් ගැසට් නිවේදනයක් තිබුනා ඒ ගැසට් නිවේදනයේ ඉල්ලීමක් කරලා තිබුනා, ජීවිතයේ පළමු වතාවට විදුලි බුබුලක ආලෝකය දකින්නට ඔබ කැමතිනම් 26 වැනිදා හැන්දෑවේ 07 වෙනකොට ගෝල්ෆේස් පිට්ටනියට එන්න කියලා, ගෝල්ෆේස් පිට්ටනියට ඇවිත් නැව දිහා බලන්න කියලා, එදා තමයි ශ්‍රී ලාංකිකයෝ පළවෙනි වතාවට දැල්වෙන විදුලි බුබුලක් දැක්කේ. ඒ නිසා ජුනි මාසේ 26 වැනිදා ජාතික බලශක්ති දිනය විදියට අපි ප්‍රකාශයට පත් කරලා ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වාධීන භාවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය ප්‍රමුඛ අපේ ආයතන සියල්ලම එකතුවෙලා අලුත් බලශක්ති සැලැස්මක් ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කරලා තියෙන බව කඹුරුපිටියේ සිට ප්‍රකාශ කරන්නට කැමතියි.

ඒ වෙනුවෙන් විදුලිබල මණ්ඩලය එහි සමස්ථ සේවක සහෝදරත්වය විශාල කැපවීමක් කරමින් මේ ලබාදෙන සහාය තමා අගය කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න