Language Switcher

V2025

පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකකට පසුව : මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් !

වසර දෙකකට පසුව පාස්කු ප්‍රහාරයට අදාල වන්දි ඉල්ලීමක් සිදුකර යැවුණු එන්තරවාසියක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඒ නීතිඥවරයෙකු වන මෝදිත ඒකනායක විසින් වන අතර ප්‍රමාණවත්   බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදුවූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා   විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 12දෙනෙකු වෙත එය යොමුකර තිබේ.නීතිඥ සුජීව ගුණතිලක  මාර්ගයෙන් යොමුකර ඇති එම එන්තරවාසියේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නීතිපති ඇතුළු 12දෙනෙකු නම්කර ඇත.

නීතිඥ මෝදිත ඒකනායක එහි සඳහන් කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් එය වළක්වා ගැනීමට පියවර නොගත් බවය.

දින 14ක් ඇතුළත එම වන්දි මුදල ගෙවන ලෙසත් එය ගෙවීම පැහැර හරිනු ලැබූවොත් දිසා අධිකරණය හමුවේ නඩු පවරන බවටත් අදාළ එන්තරවාසිය තුළින් දැනුම් දී තිබුණි.

එමෙන්ම පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර නොගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස දන්වමින් නීතිඥ මෝදිත ඒකනායක මහතා විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තවත් එන්තරවාසියක් යොමුකර ඇති බව සඳහන් වේ.

එම එන්තරවාසිය තුළින් අවධාරණය කර තිබෙන්නේ ෂැංග්‍රිලා හෝටලය තුළ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුට එම ප්‍රහාරය එල්ල කිරීමට හැකියාව ලැබුණු බවය.

ඒ හේතුවෙන් හෝටලය තුළ සිටි තමන් බරපතළ තුවාල ලැබූ බවද නීතිඥ මුදිත ඒකනායක අදාළ එන්තරවාසිය තුළින් සඳහන් කර තිබේ.

මේ අතර ෂැංග්‍රිලා හෝටලයේ තුළ සිදුවූ මරාගෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තමන්ට රුපියල් මිලියන 400ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා එම බෝම්බ ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ පියා වන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන යුසුප් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු තිදෙනෙකු වෙත නීතිඥ මෝදිත ඒකනායක විසින් තවත් එන්තර වාසියක් යොමුකර ඇති බවත් වාර්තා වෙයි.