ගසපි ටත් ජනාධිපති කාර්ය සාධක බලකායක් : ප්‍රධානියා නාමල් !

ගසපි ටත් ජනාධිපති කාර්ය සාධක බලකායක් : ප්‍රධානියා නාමල් !

''ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර ඇත.

“ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස එය නම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, සීතා අරඹේපොළ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරල, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහූ සෙසු සාමාජිකයෝ වෙති.ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය “ගම සමග පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන කාර්යයන් හා සම්බන්ධිත අවශ්‍ය සියලු තොරතුරු සම්පාදනය හා සම්බන්ධීකරණය භාරව සිටී.

“ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න හා ගැටලු විසඳනු පිණිස ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වෙනත් සියලුම ආයතන ප්‍රධානීන් ද ඇතුළුව ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් සේවා අවශ්‍යතාව මත මෙහෙයවීම කාර්ය සාධක බලකායේ මූලික වගකීමක් වෙයි.

ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල ජාතික මට්ටමේ රාජ්‍ය ආයතන මගින් 2021 – 2023 අය වැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන මාර්ග, පානීය ජල සම්පාදන, විදුලිය, දුරකථන සන්නිවේදන, ක්‍රීඩා පිටි, පාසල්, රෝහල්, වෘත්තීය අධ්‍යාපන ආයතන, නාගරික විශ්ව විද්‍යාල, ඉඩම් පැවරීම්, බැංකු හා මූල්‍ය පහසුකම්, වෙළෙඳ පොළ, ගබඩා හා යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම බලකායට පවරා තිබේ.

රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක සියලුම ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කෙරේ.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන්නැයි ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායට නියම කොට විධාන කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න