Language Switcher

V2025

මේ ආණ්ඩුව යටතේ වරාය නගරය මංකොල්ලකාරයින්ට පාරාදීසයක් වෙයි - චම්පික

දැනටමත් මේ රටේ ආර්ථිකය තුළ ක්‍රියාත්මක වන වංචනික පිරිස්වලට, කළු ආර්ථිකය ගෙනයන අයට තමන්ගේ ජාවාරම ඉතා හොඳින් කරන්න පුළුවන් හොඳ නවාතැන් පොළක්, මංකොල්ලකාරයින්ට හොඳ පාරාදීසයක් බවට, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත හරහා වරාය නගරය පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත හරහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවත්, මෙම කොමිසම නඩත්තු කරන සමාගම පිළිබඳව බලන විට කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව බරපතල ගැටළු මතුකර තිබෙන බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිසම’ පනත් කෙටුම්පත සම්බන්ධව තම ස්ථාවරය පැහැදිළි කිරීම වෙනුවෙන් 43 සේනාංකයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා,

මේ වරාය නගරය මේ ආණ්ඩුවේ සංකල්පයක් නෙමෙයි. වරාය නගරය පිළිබඳ මූලික අදහස 2002 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරපු ‘යළි පුබුදමු ලංකා’ වැඩපිළිවෙලේ කොටසක්.  ඒ ‘යළි පුබුදමු ලංකා’ වැඩපිළිවෙළට නිර්දය විදියට පහරදීපු අය මේ වරාය නගරය පිළිබඳ සංකල්පට රටේ ඉදිරි ගමනට වැදගත් වෙන එකක් කියල කරතබාගෙන යෑම ඇත්තටම ඉතිහාසයේ දෛවයේ සරදමක්.

‘යළි පුබුදමු ලංකා’ වැඩපිළිවෙළේ සංකල්ප දෙකක් තිබුණා. එකක් තමයි දකුණු වරාය පිළිබඳ සංකල්පය. උතුරු වරාය නමින් නව වරායක් වත්තලින් එහා ඉදිකරන්න යෝජනාවක් තිබුණා. පවතින වරාය ගැඹුරු මුහුදේ වරායන් බවට පරිවර්ථනය කළාට පස්සෙ වරාය බිම්කඩ ඇතුළෙ වරාය නගරයක් ඇති කරන්න තමයි මුලින් අදහස තිබුණෙ. පසුව තමයි ඒක මුහුද ගොඩකරල ඉදිකරන්න පටන් ගත්තෙ.

2014 දි ශ්‍රී ලංකාවට ෂී ජින් පින් චීන ජනාධිපතිතුමා පැමිණි අවස්ථාවේ කඩිමුඩියේම වරාය අධිකාරිය මැදිහත් වෙලා ගිවිසුමක් අත්සන් කරල චයිනා කන්ස්ට්‍රක්ෂන් කොමියුනිකේෂන් කොන්සෝටියම්  කියන ආයතනයත් එක්ක චයිනා හාබර්, චෙක් පෝර්ට්සිටි කියන ආයතනය තමයි වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කරනන පටන් ගත්තෙ. ජනාධිපතිවරණය වනවිට මුහුද ගොඩකරල පේන්න තියෙන දෙයක් ඇති කිරීම තමයි එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයගේ අභිලාෂය වුණේ. විධිමත් පරිසර අධ්‍යයනයක්, විධිමත් ආර්ථික හෝ මූල්‍ය අධ්‍යයනයක කළේ නෑ.  විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් කළේ නෑ. දේශීය ආර්ථිකයට සමාජයට මෙයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අධ්‍යයනයක් කළේ නෑ. විශේෂයෙන්ම විධිමත් නීතියකට අනුකූලව මෙහි ඉදිකිරීම් කටයුතු කළේ නෑ. කිසිසේත්ම වරාය අධිකාරියට එවැනි දෙයක් ඉදිකිරීමට නීති ප්‍රතිපාදනයක් තිබුණෙ නෑ, භූ දේශපාලනික අධ්‍යයනයක් කළේ නෑ.

2019 පත්වුණු යහපාලන රජය මේ සියලු අඩුපාඩු විධිමත්ව සකස් කර සාර්ථක ලෙස වරාය නගරයේ කටයුතු ආරම්භ කළා. 2019 නොවැම්බර් මාසෙ වරාය නගරයේ නාගරික සැලසුම අනුමත කළත්, 2019 නොවැම්බර් මාසෙම පත්වෙච්ච මේ රජය ඒ සැලසුම ගැසට් කළේ නෑ. ඒක නීත්‍යානුකූල කළේ නෑ. එය හිතා මතාම කළ දෙයක්. මෙහි ගොඩනැගිලි ඉදිකිරීමේ හා ගොඩනැගිලි අනුමත කිරීමේ බලය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියෙන් අද උදුරාගෙන තිබෙනවා.

ලංකා රජයත් මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරල තිබෙනවා. ඒ නිසා මේක හුදු චීන ආයෝජනයක් නෙවෙයි, චීන ආයෝජනය ඩොලර් බිලියන 1.4 යි. ලංකා රජයත් ඊට සමාන ප්‍රමාණයක් ආයෝජනය කරල තිබෙනවා. විදුලිය, ජලය, මලඅපවහන, මාර්ග, සැහැල්ලු දුම්රිය ගෙනඒම ආදී කාරණා සම්බන්ධයෙන් හා පොදු පහසුකම් යටතේ.

ඒ නිසා අපි යෝජනා කළා සමාගමක් පිහිටුවන්න, ඒකට චීන සමාගමේ අනුමැතියත් ලැබුණා. චීන සමාගමෙත් ලංකා රජයෙත් අයිතිය තියෙන සමාගමකින් මෙහි යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. දැන් ඒ සමාගම පිහිටුවීමත් සම්පූර්ණයෙන්ම අහෝසි කරල තිබෙනවා මේ කොමිසන් සභා පනත විසින්. පසුගිය වසර එකහමාර තුළ මෙහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නෑ.

අපේ රජයේ මුදල් අමාත්‍යවරයා හෝ මුදල් ලේකම්වරයා කැමති වුණේ නෑ මේ මූල්‍ය නගරය සඳහා සුවිශේෂී බදු සහන ලබාදෙන්න.  නමුත් අද ලිබරල්වාදීන් යැයි නොවන පිරිස් මේ ආණ්ඩුව අවාට පස්සෙත් උපාය මාර්ගික පනත යටතේ මේ වරාය නගරයට හා හම්බන්තොට වරාය පාලනය කරන චයිනා මර්චන්ට් එකට බදු සහන ලබාදුන්නා. දැන් ඊටත් අමතරව බදු සහන ලබාදෙන්න කටයුතු කරනවා. ඒ සඳහා පනත්  14 ක් යොදාගන්න යනවා.

මෙහි ඉදිවෙන ගොඩනැගිලි ගැන හෝ  මෙහි නිර්මිත පරිසරය පිළිබඳව  කිසිම අයිතියක් මින් ඉදිරියට නාගරික සංවර්ධන අධිකාරියට නොමැති බව මෙම කොමිසන් සභා පනත මගින් පැහැදිළි කරනවා. මේ සඳහා ග්‍රාමසේවක කෙනෙක් නෑ. පරිපාලන නියෝජිතයෙක් නෑ. බස්නාහිර පළාත් සභාවට මෙය අයත් නෑ. ඒ වගේම රටේ ජාතික භෞතික සැලැස්මෙන් වරාය නගරය ඉවත් කර තිබෙනවා. උපායමාර්ගික නගර පනතෙන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් කර තිබෙනවා.

මේ විදියට ගත්තම මේ නව කොමිසම ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය ස්වෛරී රටක් කියන එක සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරල තිබෙනවා. රටේ නීති තනන්න, රටේ ඒකීය භාවය සමබන්ධයෙන් තිබෙන ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය, ඒ වගේම වෙනත් තැන්වල නීති හදන්න බෑ, පාර්ලිමේන්තුවට පමණයි ඒ අයිතිය තිබෙන්නේ කියන 76 වගන්තිය මේ මඟින් උල්ලංඝණය කර තිබෙනවා.

මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුව සතුව තිබෙන බලය, ඒකාබද්ධ අරමුදල සම්බන්ධ නීති උල්ලංඝණය කර තිබෙනවා. මූල්‍ය නියාමනයට තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබෙනවා. මූල්‍ය විගණනය සඳහා තිබෙන විගණකාධිපති දෙපාර්තුවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඉවත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවෙන්, භාණ්ඩාගාරයෙන්, මහ බැංකුවෙන්, විගණාකාධිපතිගෙන් තොරව ස්වාධීන මූල්‍ය ඒකකයක් ගොඩනගා තිබෙනවා.

ව්‍යවස්ථාවේ 4 වන වගන්තියෙන් කියවෙන ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝණය කර තිබෙනවා. මෙහි පදිංචිවන අයට ඡන්ද අයිතියක් නෑ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතු ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම්, දිසාපති, පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය, නගර සභා යනාදී කිසිම පනතකටවත් මෙය අයිති නෑ. මෙහි අධිකරණ කටයුතු හා පොලිස් බල ප්‍රදේශය කුමක්ද යන්න කිසිදු පැහැදිළි කිරීමක් සිදුකර නෑ.

දැනටමත් මේ රටේ ආර්ථිකය ඇතුලේ ක්‍රියාත්මක වන වංචනික පිරිස්වලට, කළු ආර්ථිකය ගෙනයන අයට තමන්ගේ ජාවාරම ඉතා හොඳින් කරන්න පුළුවන් හොඳ නවාතැන් පොළක්, මංකොල්ලකාරයින්ට හොඳ පාරාදීසයක් මෙතැන ඇති වෙන්න ඉඩ තිබෙනවා. මෙම කොමිසම නඩත්තු කරන්නෙත් අදාල සමාගම විසින්. ඒ නිසා කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයකුත් පැනනැග තිබෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් ද හදිසි නීතිය හැර අනෙකුත් නීති පනවන්න යන ගැටළුවද පැනනගිනවා.

රටේ ස්වෛරීත්වයට මරු පහරක් වන මෙය පරාජය කිරීමට කැපවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන, රටේ ඒකීයභාවය ආරක්ෂා කරගෙන, රටේ පරිසරය ආරක්ෂා කරගෙන, ඉතාම අමාරුවෙන් තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. ඒ නිසා මෙය ආරක්ෂා කරගැනීමත් අපේ වගකීමක්. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී කටයුතු කරනවා.