පූජිත්ට හා හේමසිරිට අධි චෝදනා 863ක්

පූජිත්ට හා හේමසිරිට අධි චෝදනා 863ක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට නිසි ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත් වී යැයි, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව අධි චෝදනා 863ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ වෙන වෙනම නඩු දෙකක් පැවරීමට නීතිපතිවරයා ඊයේ (03) පියවර ගෙන තිබේ.

අදාළ නඩු විභාග කිරීම සඳහා වෙන වෙනම විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු දෙකක් පත්කරන ලෙසට නීතිපතිවරයා ඊයේ (03) අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව විශේෂ ඉල්ලීමක් කළ බව ද නීතිපති සම්බන්ධිකාරක අධි නීතිඥ නිශාරා ජයරත්න පැවසුවාය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂිම් ඇතුළු කණ්ඩායම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානය වී තිබෙන බවට ආසන්න බුද්ධි තොරතුරු ලැබී තිබියදී නිසි ක්‍රියාමාර්ග නොගැනීම, බෝම්බ ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ බුද්ධි තොරතුරු නොසලකා හැරීම ඇතුළු චෝදනා 863 බැගින් ඉදිරිපත් කරමින් මෙම නඩු පවරා ඇත.

විත්තිකරුවන් දෙදෙනා දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරීම හා 306 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා ඉදිරිපත් කර ඇති බවද අධි නීතිඥවරිය පැවසුවාය.

නිශාරා ජයරත්න මෙසේද පැවසුවාය.

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනට එරෙහිව 2019 පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට අදාළව මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මිනී මැරීමේ හා මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම නීතිපතිවරයා විසින් ඊයේ කොළඹ මහාධිකරණයේදී සිදුකරනු ලැබීය. මෙම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ දෙකක් පත්කරන ලෙස ද නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති අතර, 2019 අප්‍රේල් 07 දින හා 2019 අප්‍රේල් 21 යන කාල සීමාව අතරතුරදි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ලබාදුන් සංවේදී තොරතුරු හා බුද්ධි තොරතුරු වන සහරාන් හෂිම් සහ ඔහුගේ කණ්ඩායම ආගමික සිද්ධස්ථාන හා හෝටල්වලට හා අනෙකුත් ස්ථානවලට බොම්බ ප්‍රහාර එල්ල කිරීමට සංවිධානව සිටි බවට හා ප්‍රහාර එල්ල කිරීමට ආසන්නව හා සුදානම්ව සිටින බවට ඔවුන්ට ලැබුණු තොරතුරු නොසලකා හැරීම සහ ඒ මත කටයුතු කිරීමට මුළු මුණින්ම අපොහොසත් වීම හේතුවෙන් 2019 පාස්කු දින බොම්බ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය හා 306 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම යන චෝදනා යටතේ මේ නඩුව පැවරීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න