ජනාධිපතිට සජිත්ට අනුරට - එකට තියලා ගහලා : නාගා මේ කොන්ත්‍රාත් කාගේද ?

ජනාධිපතිට සජිත්ට අනුරට - එකට තියලා ගහලා : නාගා මේ කොන්ත්‍රාත් කාගේද ?

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි භාවය ,  මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය , එවකට ජනාධිපති අපේක්ෂකයන් වූ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වෙත බරපතළ විවේචනයක් ගෙනෙමින් සිය ෆේස්බුක් පිටුවේ  සටහනක් තබා ඇත.

එය  කිසිදු සංස්කරණයක් නොමැතිව පහත පලකර ඇත.

මහින්ද දේශප්‍රිය ඇමරිකානුවකු වූ ඝෝඨාභයගේ නාමයෝජනා නීතියට පටහැනිව භාරගන් බව දැන් සියලු සාක්ෂි සහිතව අනාවරණය වී අවසන්ය. සියලු ජනමාධ්‍ය හා සියලු දේශපාලන පක්ෂ දැන් ගුල්වලට රිංගා සැඟවී රටට කියන්නේ දැන් දුෂණය සාමාන්‍ය දෙයක් බවත් එහෙයින් රටේ ජනතාව එය ඉවසිය යුතු බවත්ය.

ද්විත්ව පුරවැසියකුට ජනාධිපති මැතිවරණය සඳහා නාමයෝජනා දිය නොහැකි අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝණය කිරීමකි.  එවැනි පුද්ගලයකු තමන් එවැනි නුසුදුසු කමකට (ද්විත්ව පුරවැසියකු වීම) යටත් නොවන බවට බොරු සහතිකයක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම පිලිබඳ පනතේ 11 වන වගන්තිය උල්ලංඝණය කිරීමක් වන්නේය.  (මේ බරපතළ වංචාව රටට හෙළි කරමින් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජිවන් හුල් දිවුරුම් ප්‍රකාශයකින් එම වංචාව පිලිබඳ සියලු කරුණු අනාවරණය කර ඇත). එයින් උපුටාගත් කොටස් කීපයක් මේ සමග පළකර ඇත).  ජනාධිපති මැතිවරණයට නාමයෝජනා දෙන අවස්ථාවට ප්‍රථම ඝෝඨාභය රාජපක්ෂ තම ඇමරිකානු පුවසිභාවය ඉවත්කරගෙන නොතිබින. එහෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (4) (xiii) ව්‍යවස්ථාව ප්‍රකාර ඝෝඨාභය ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා නොතිබිණ.

එවැනි අවස්ථාවක, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ව්‍යවස්ථාපිත වගකීමක් ඇති මැතිවරණ කොමිසම ඝෝඨාභයගේ නාමයෝජනා සෘජුවම ප්‍රතික්ෂේප කල යුතු විය. එවැනි ප්‍රශ්ණයක් සම්බන්ධව මැතිවරණ කොමිසමේ තීරණය අවසන් තීරණය වන අතර එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කිරීමට පමණක් යටත් විය[1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම පිලිබඳ පනතේ 14 (5) වගන්තිය].  

නාමයෝජනා දෙන අවස්ථාවේ අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස අපේක්ෂක ඝෝඨාභයගේ මෙම බරපතළ නුසුදුසුකම, එනම් ව්‍යවස්ථාවේ 92 (ආ) ව්‍යවස්ථාව අපේක්ෂක ඝෝඨාභය විසින් සෘජුවම උල්ලංඝණය කිරීම දැනගන සිටියේය. ඔවුන් පමණක් නොව මුළු රටම දැනගන සිටියේය. ඔවුන් ඝෝඨාභයගේ නාමයෝජනාවට එරෙහිව කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොකළේ ඇයි ? 

නාමයෝජනා දෙන අවස්ථාවේ ද්විත්ව පුරවැසියකුව සිටිමින් සෘජුවම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්  තමන් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වාලන  කිසිම නුසුදුසු කමකට යටත් නොවන බව ප්‍රකාශ කරන අයකුට නොකල හැකි දෙයක් නැත. ඝෝඨාභය විධායක ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය පවා ඔහුගේ අභිමතයට වෙනස් කරමින් ජනතාවගේ අධිකරණ බලය බලගන්වන අධිකරණය පවා තමන් හමුවේ දන ගැස්වීමට ක්‍රියා කළේය. එමගින් පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය අතර බල තුලනය (බලතල බෙදීමේ සිද්ධාන්තය) සම්පුර්ණයෙන්ම අහෝසි කළේය. 

මේ බරපතළ වංචාව සම්බන්ධව නාගානන්ද මහජන අයිතිය බලගැන්වීම සඳහා ස්වාධීන විමර්ෂණයක් කරන ලදි. එම විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව, මැතිවරණ කොමිසමේ සභාපති වූ මහින්ද දේශප්‍රිය,  එහි අනෙකුත් සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයකු වූ, මද්‍යස්ථ මතධාරීයකු ලෙස සැලකෙන මහාචාර්ය රාත්නජිවන් හුල්ව නිහඬ කරමින්, කොමිසමේ සභාපතිගේ බලය අවභාවිත කරමින්, රටට හා ජාතියට එරෙහිව සිදු කරන ලද අපරාධය සැකයෙන් තොරව අනාවරණය විය. දේශප්‍රිය විසින් සිදුකරන ලද එම බරපතළ වංචාව රටට හෙළි කිරීමෙන් අනතුරුව පසුගිය 18 වනදා දේශප්‍රිය විසින් නාගානන්දව අමතන ලදී.  අපේක්ෂකයකුගේ ද්විත්ව පුරවැසියකු සම්බන්ධව කොමිසම අනුගමණය කල යුතු නීතිය තමන් පැහැදිළිව දැන නොසිටි බව ඔහු නාගානන්දට ප්‍රකාශ කළේය.  

මෙම බරපතළ වංචාව සම්බන්ධව සජිත්ට හා අනුර කුමාරට තව දුරටත් ජනතාව වංචා කල නොහැක. මොවුන් දෙදෙනාම මේ වංචාව සම්බන්ධව රටේ ජනතාවට පිළිගත හැකි පැහැදිළි පිළිතුරක් දීමට බැඳී සිටියි.

(1) තමන්ගේ නිවටකම නිසා ජනාධිපති මැතිවරණයටඝෝඨාභය නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී පුටුව යට රිංගා නිශ්ශබ්දව සිටිය බව 

(2) ඝෝඨාභය විසින් මැතිවරණ නීතිය උල්ලංඝන කරමින් නාමයෝජනා භාරදීම අභියෝග නොකිරීමට තමන් එකඟ වී සිටිය බව පිළිගනිමින්  තමන් එසේ එකඟ වුයේ ඔහුට එරෙහිව පවරා තිබු බරපතළ මුල්‍ය අපරාධ නඩු සියල්ලෙන් ගලවියාමට අවස්ථාවක් ලබාදීම සඳහා බව

(3) එසේ නැතහොත් 'මුදලට' ජනතාව වෙත ඇති තම වගකීම පැහැර හැරිය බව, මෙයින් මොවුන් තිදෙනා තම පිළිතුර තෝරාගත යුතුව ඇත. ජනතාව මේ සම්බන්ධව ඉවසිල්ලෙන් බලා සිටින බවත්, තව දුරටත් බොරුව වන්චාවම තෝරාගැනීම තම දේශපාලන අනාගතයට සෘජුවම බලපාන බවත් මෙවුන් දෙදෙනාම දැනගත යුතුය.

Screenshot 20210526 161806නීතිඥ  නාගහනන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් ගිනුමට එක්කර තිබූ දිවුරුම් ප්‍රකාශයට සම්බන්ධ ජායාරූපය.

FB IMG 1622025943375මේ  ප්‍රධාන ෆේස්බුක් සටහනට අමතරව තවත් සටහනක් comment තුළ දක්වා ඇති අතර ඒ මෙසේය.

මේ මොහොත වනවිට මේ සම්බන්ධව ජවිපෙ 4 දෙනාගේ කල්ලියට තම පාක්ෂිකයන්ට සහ පොදුවේ රටට දෙන්න කිසිම පිළිතුරක් නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඔහුගෙන් මේ පිලිබඳව තමන්ගේ ගැලවීමට තම පාක්ෂිකයන්ට කියා සිටින්නේ ඝෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය පිලිබඳව එම අවස්ථාවේ අධිකරණය හමුවේ නඩුවක් පැවති බවත් එම නඩුව ප්‍රතික්ෂේප කරමින් අධිකරණය විසින් පැහැදිළි තීන්දුවක් දී තිබු බවත් එහෙයින් නාමයෝජනා දෙන අවස්ථාවේ ජවිපෙ අනුර කුමාර දිසානායක ඝෝඨාභයගේ නාමයෝජනා පිළිබඳව කිසිදු විරෝධතාවයක් ඉදිරිපත් නොකළ බවත්ය.

මන්ත්‍රී විජිත හේරත්ගේ මෙම ප්‍රකාශය රටම වංචා තවත් සම්පුර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බව කරුණු සහිතව රට්ටුන්ට පැහැදිළි කල යුතුය. ඔහුට මේ සම්බන්ධව රටේ සමස්ථ ජනතාවගෙන් සමාව ගැනීමට බලකළ යුතුය.

මන්ත්‍රී විජිත හේරත් කථා කරන එම නඩුව (CA /425/2019) චන්ද්‍රගුප්ත තේනුවර හා තවත් අයකු විසින් පවරා තිබුනේ මහින්ද රාජපක්ෂ 2005 දී ඝෝඨාභය රාජපක්ෂට නිකුත් කරන ලද ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කිරීමේ සහතිකය අභියෝග කරමිනි.

එම නඩුව ඔහු පවරා තිබුනේ ඝෝඨාභයට මහින්ද රාජපක්ෂ විසින් නිකුත්කරන ලද (1) ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ සහතිකය, (2) එය පිළිගනිමින් ඔහුට නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍රය සහ (3) එය පිළිගනිමින් ඔහුට නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත අවලංගු කරවාගැනීමේ අධිකරණ ආඥාවක් ලබාගැනීම සඳහාය. එම නඩුව කිසිසේත්ම ඝෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ප්‍රශ්න කරන හෝ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම අභියෝග කරන නඩුවක් නොවන බව අවධාරණය කල යුතුය. එම නඩුව 2019 ඔක්තෝම්බර් 04 වන දින අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එසේ එම නඩුව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වුයේ එම අවස්ථාවේදී ඔහු පොදු ජන එක්සත් පෙරමුණ විසින් තම අපේක්ෂකයා වශයෙන් නම් තිබු හෙයින් නඩුවේ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම පිළිගෙන අධිකරණය විසින් එම නඩුවේ වගඋත්තරකරුවකු වූ ඝෝඨාභයටේ එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරනු ලැබුව හොත් එම පක්ෂයට ජනාධිපති මැතිවරණයට වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාව අහිමි වන බවත් එහෙයින් එම පක්ෂය නඩුවේ පාර්ශව කරුවකු ලෙස පත්නොකිරීම එම නඩුවේ බරපතළ ඌනතාවයක් බව බවට අධිකරණය හමුවේ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමිනි. එම ඌනතාවය මත එම නඩුව තව දුරටත් පවත්වාගන යා නොහැකි හෙයින් එම නඩුව ප්‍රතික්ෂේප කිරීමේ තීන්දු ප්‍රකාශයක් අධිකරණය විසින් නිකුත් කල යුතු බවට ඝෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණ. එම ඉල්ලීම පිළිගෙන අධිකරණය විසින් එම නඩුව නිෂ්ප්‍රභා කරන ලද අතර එම නඩුවත් ඝෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය පිලිබඳවත් කිසිම සම්බන්ධයක් නොමැති බවත් ජවිපෙ විජිත හේරත්ගේ ප්‍රකාශය, නාමයෝජනා බාරදෙන අවස්ථාවේ පක්ෂය විසින් රටම පාවාදීම පිලිබඳව කිසිම පිළිතුරක් නොමැති හෙයින් හුදෙක් රට්ටු වංචා කිරීම සඳහා කරන ලද තවත් බොරුවක් බව අවධාරණය කල යුතුය.

මීට අදාළ වීඩියෝවක් සහ හඬ පටයක් ද  අදාළ ෆේස්බුක් සටහන තුළ ඇතුළත් කිරීමට නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු කටයුතු කර ඇති අතර පහත සැබැඳියෙන් ඒ සඳහා යොමුවිය හැකිය.

https://www.facebook.com/1642047042704949/posts/2943897679186539/

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න