එක්ස්ප්‍රස් පර්ල් නැව් ගින්න ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දෙන්න - රනිල්

එක්ස්ප්‍රස් පර්ල් නැව් ගින්න ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දෙන්න - රනිල්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි  එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඔහු මෙසේ අවධාරණය කර සිටියේ අද (6)  විශේෂ වීඩියෝවක් වට්සැප් ඔස්සේ  සමාජ මාධ්‍ය වෙත යොමුකරමිනි.

මේ එහිදී ඔහු දැක්වූ අදහස් ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය තුළට ඇතුලු කරගෙන තිබුණු අවස්ථාවේ මේ පිපුරුම වූවා නම් සිදුවන හානිය මෙතෙකැයි කියන්න බෑ. 

එයින් කොළඹ වරායේ සිට ෂැංග්‍රිලා හෝටලය දක්වා වූ ගොඩනැගිලි සියල්ල විනාශ වෙන්න තිබුණා. නෞකාව කොළඹ වරායේ පිටත වරායට පැමිණියේ මැයි මස 19 දා රාත්‍රියේදී යි. මැයි 20 දා අපේ කණ්ඩායම් නැවට ඇතුළු වුනා. එහිදි නැවේ ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය ඇතුළත් බහාලුමක ගින්නක් තිබෙන බව දැනගත්තා.

මැයි 25 දා වන විට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) මේ මුහුදු ප්‍රදේශයට අනතුරක් වන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට (International Maritime Organization) නැතිනම් IMO ආයතනයට දැනුම් දුන්නා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙලෙස අනතුරු අගවන්නේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට හානියක් වීමේ අවදානමක් පවතින නිසයි. එය ඉංග්‍රීසියෙන් "Tier 2" ලෙසයි සඳහන් වෙන්නේ. එයින් අදහස් වන්නේ ගින්න පාලනය කිරීමට ලංකාවට අපහසු වුවහොත් පිටතින් ආධාර උපකාර ගැනීමට අවශ්‍ය විය හැකිය යන්න යි.ආධාර අවශ්‍ය වෙතැයි උපකල්පනය කරනා දැනුම් දීමක් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට කළත් ලංකා රජය හෝ මීපා ආයතනය ඔවුන් ගෙන් ජාත්‍යන්තර ආධාර ඉල්ලුවේ නැහැ.

මැයි 20 දාත් මැයි 25 දාත් අතර කාලයේ රජය පවතින නීතිය ක්‍රියාත්මක කළේ නැත්තේ ඇයි ? වැදගත්ම පැනය එයයි. මෙවැනි තත්ත්වයකදී ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික සභාව රැස් කරන්න පුළුවන්.

එය රැස්වී වෙරළ කළාපයට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න හැකියාව තිබෙනවා. ජනාධිපති අගමැති ඇතුළු ඇමතිවරු 20 ක් ද, විපක්ෂ නායක හා විපක්ෂයේ මන්ත්‍රීවරු 5 ක් ද ඇතුළත් කොට මේ ජාතික සභාව පිහිටු විය හැකියි. මෙලෙස පත් කරන ජාතික සභාව රැස්වී වෙරළාරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න තිබුණා. නමුත් කිසිවෙක් එවැනි තීරණයක් ගත්තේ නැහැ.

ජාතික ආපදාවක් ඇතිවන බවට ප්‍රකාශ කර තිබුණා නම් නැවේ ගින්න නිවා ගන්න අපට විදේශාධාර ලබාගන්න තිබුණා. ගින්න පැතිරෙද්දි අපි ඉන්දියාවෙන් ගින්න නිවන්න ආධාර ගත්තා. නමුත් ඒ වන විට ගින්න පාලනය කිරීම ගිලිහී ගියේ ඉන්දියාවට දැනුම්දීම ප්‍රමාද කර තිබූ නිසයි.

මෙවැනි රසායනික ද්‍රව්‍ය නෞකාවක ගිනි නිවීම් ගැන වැඩිම දැනුම තියෙන්නේ යුරෝපයට හා නැගෙනහිර ආසියානු රටවලටයි. ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානයට දැනුම් දී ගින්න නිවීමට ජාත්‍යන්තර සහාය නොගත්තේ ඇයි? ගින්න වර්ධනය වී නැව විනාශ වන තැනට යන්න ඉඩ දුන්නේ ඇයි? කියන ප්‍රශ්න මතු වෙනවා.

නෞකාවේ ගින්නෙන් අපේ අනාගත ආර්ථිකයට වන හානිය, පරිසරයට වන හානිය ගැන සිතුවේ නැත්තේ ඇයි? රජය හා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සිතිය යුතුව තිබුණේ මේ කරුණු ගැනයි.නයිට්‍රික් අම්ලය මුහුදු ජලයට මිශ්‍රවීමෙන් ලංකා මුහුදේ කොළඹ අවට කොරල් පරය විනාශ වීමේ අවධානමක් තිබෙනවා.

කොළඹ තිබෙන කොරල් පරය නිසා තමයි අපි සුනාමි ව්‍යසනයේදී පවා බේරුණේ.

මේ කොරල් පරය විනාශ වුවහොත් සුනාමියකදී කොළඹ අනාරක්ෂිතයි.එම නිසා මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව මේ සතියේ රැස්වන නිසා මේ නෞකාවේ ගින්න ගැන සොයන්න වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි.

ඉක්මණින් මන්ත්‍රීවරු නම් කොට තේරීම් කාරක සභාවක් මේ සතියේදීම පත් කිරීමේ හැකියාව තිබෙනවා.

ඒ අනුව කාරක සභාව රැස්වී ජූලි මාසයේ පළමු සතියේදී නැවේ ගින්නෙන් වූ පරිසර හා ආර්ථික හානිය ගැන මූලික වාර්තාවක් ඉදිරිපත් කළ හැකියි. ජනතාවට අයිතියක් තියෙනවා නැව ගිනි ගත්තේ කොහොමද එය නිවා දැමීමට නොහැකිවුනේ ඇයි ද යන කාරණා ගැන දැන ගන්න.

ඒ වගේම නැව සම්බන්ධයෙන් අපි ගන්නා ඉදිරි පියවර මොනවාද යන්නත් දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. එය ඉක්මණින් ඉටු කරන්නැයි අපි රජයෙන් ඉල්ලනවා.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න