Language Switcher

V2025

මැති ඇමති සැප වාහන ආනයනය අත්හිටුවීම ප්‍රෝඩාවක් : කෙහෙළිය මහින්දව පාවාදෙයි !

පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් ඇතුලු ආණ්ඩුවේ පාවිච්චිය සදහා රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කලින් ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය සහ සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පසුගිය සඳුදා  (07) දින හිරු නාලිකාවේ  ‘සලකුණ’ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර  ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් බැවින් එමේ අවලංගු කළ නොහැකි බවත් පැවසීය.රාජ්‍ය බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ඇති බැවින් ඒකපාර්ශවිකව අවලංගු කළ නොහැකි බවද අමාත්‍යවරයා  එහිදී පිළිගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 225 ක් ආනයනය කිරීමේ ආණ්ඩුවේ සූදානම තාවකාලිකව අත්හිටවූ බව ඒ අනුව ප්‍රෝඩාවක් වන බව පැහැදිලියි.

වාහන බිස්නස් එක දූෂිත දැයි සැකයි !

එසේම ඒ ආශ්‍රිත ක්‍රියාවලිය අන්ත දූෂිත බවටත් තොරතුරු වාර්තා වෙයි. ද ලීඩර් tv වීඩියෝවක් නිකුත්කරමින් මේ බව අනාවරණය කර සිටි අතර ඊට අදාළ තොරතුරු මෙසේය.

ඒ අනුව මතුව ඇති ප්‍රධාන සැකසංකාවක් වන්නේ මෙකී වාහන සිංගප්පූරුවේ තැරැව්කාර සමාගමකින් ඇණවුම් කළේ ඇයිද යන්න ආශ්‍රිතවයි.ශ්‍රී ලංකා රජය වාහන ආනයනයේදී මෙතෙක් කල් අනුගමණය කළේ ඇණවුම් කරන වාහන සඳහා ලංකාවේ බලයලත් නියෝජිත ආයතනයක් මඟින් හෝ අදාල වාහන නිෂ්පාදනය කර අලෙවි කරන සමාගමේ දේශීය ශාඛාවක් මාර්ගයෙනි.

ඒ විවෘත ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අකුරටම ක්‍රියාත්මක කරමිනි.එහෙත් ආණ්ඩුවේ යම් කණ්ඩායමක් හොර රහසේ මුදල් අමාත්‍යංශයත් ලංකා බැංකුවත් සමඟ එකතු වී ආනයනය කිරීමට සැලසුම් කරන ලද වාහන සඳහා යෝජනාව නැතහොත් පිරිනැමීම (letter of offer ) ගෙන ඇත්තේ සිංගප්පූරුවේ  ටොයෝටා මසුහෝ ඒෂියා පැසිෆික් පුද්ගලික සමාගම මඟිනි.

අනිකුත් දේශීය සමාගම් නොමග යැවීම සඳහාත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මෙම මහා පරිමාණ ගනුදෙනුව සාධාරණීය කිරීම සඳහාත් මෙම සිංගප්පූරු සමාගම යොදාගෙන තිබෙන බවට බරපතළ සැකසංකා මතුව තිබේ.මෙම සමාගම සිංගප්පූරුවේ ටොයෝටා වාහන සඳහා බලයලත් නියෝජිත ආයතනයක් නොවීම ඒ සැකසංකා තීව්‍ර කරන කරුණක් වෙයි. 

වාහන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරන්නේ මෙම සමාගම වාහන බ්‍රෝකරිං සමාගමක් බවයි.අදාළ සමාගමේ ලිපිනය සඳහන් වන්නේ , ප්‍රධාන කාර්යාලය, ටොයෝටා මසුහෝ එෂියා පැසිෆික් පෞද්ගලික සමාගම, 600, නෝර්ත් බ්‍රිජ් පාර # 19 - 01- පාර්විව් ස්කුයාර් සිංගප්පූරුව වශයෙනි.එහෙත් ටොයෝටා වාහන සම්බන්ධව සිංගප්පූරුවේ මව් සමාගමේ බලයලත් ආයතනය වන්නේ එම සමාගම නොවෙයි. 

එය ටොයෝටා මෝටර් ඒෂියා පැසිෆික් , වන අතර 20, ඇන්සන් පාර - සිංගප්පූරුව 079912  යන්න එහි ලිපිනයයි.සම්බන්ධ වීමට අවශ්‍ය අයෙකු ඇත්නම්  6562278011 යන අංකය ඇමතීමට පුළුවන.

ටොයෝටා වාහන අලෙවියේ ආසියානු මධ්‍යස්ථානය එය නම් දැන් ගැටළුව වන්නේ මුදල් අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ ටොයෝටා සමාගම හරහා සිංගප්පූරුවේ ටොයෝටා මසුහෝ එෂියා පැසිෆික් පෞද්ගලික සමාගම සමඟ ගණුදෙනු කළේ කුමණ පරමාර්ථයෙන්ද යන්නයි !ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ තැරැව්කරුවෙකු හරහා මෙම සිංගප්පූරු සමාගම සීමිත වාහන ප්‍රමාණයක් සැපයීමට ලංසු ඉදිරිපත් කර ඇති බවයි.

තවද අනිකුත් සමාගම් සඳහන් කරන්නේ අදාල අමතර උපාංග සහිත අශ්වබල 2755 වාහනයක් මීට අඩු මිලකට තම සමාගම්වලට සැපයිය හැකි බවයි. 

මෙම ගණුදෙනු මෙසේ සිදු වුවත් අගමැතිවරයා වහාම මැදිහත්වී අදාල ණයවර  ලිපිය අවලංගු කරන ලෙස උපදෙස් දුන්නත් වාහන ගෙන්වීමේ නයවර ලිපිය අවලංගු කිරීමට ලංකා බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය මේ වනතුරුත් කටයුතු කර නැති බවත් වාර්තා වෙයි. 

ආරංචි මාර්ග අනුව නම් මෙම වාහන නිෂ්පාදනය සඳහා ඇණවුම  කාලයකට පෙර ලබාදුන්නකි.  එසේම  රජය ලබා දුන් පිරිවිතර (specifications ) අනුව දැනටමත් මෙම වාහන නිෂ්පාදනය කර අවසන්වී ඇති   බැවින්  මෙම ණයවර ලිපිය අවලංගු කළ නොහැකිව ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ ලංකා බැංකුව අතරද මේ වනවිට  කඹ ඇදිල්ලක් සිදුවෙමින් තිබේ.

ඒ වගේම 

  • මුදල් අමාත්‍යංශය ටෙන්ඩරය අවලංගු නොකර එම වගකීම ලංකා බැංකුව පිට පැටවීමට උත්සාහ කරනවාද ? 
  • මේ වනවිට රටට වාහන ආනයනය තහනම් කර තිබියදී ලංකා බැංකුව ඒ බව ඉතා හොඳින් දැනදැනම , ආනයන - අපනයන පාලකගේ ආනයන බලපත්‍රයක් නොමැතිව මන්ත්‍රීවරු 225 ක් සඳහා ටොයෝටා ලැන්ඩ් කෘෂ්ර් ප්‍රාඩෝ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපිය නිකුත් කළේ කෙසේද?
  • මෙම වාහන පුද්ගලික වාහන ආනයන බලපත්‍ර ක්‍රමය යටතේ ඇති පහසුකම යටතේ ගෙන්වීමේදී සහන තීරු බදු තිබුණත් මෙවැනි තොගයක් ආනයනය කිරීමේදී නීත්‍යාණුකූලව ගෙවීමට සිදුවන තීරුබදු ගෙවන්නේ මුදල් අමාත්‍යංශයද? - ලංකා බැංකුවද? 
  • *වාහන ආනයනකරු (Importer )මුදල් අමාත්‍යංශය නම් නැවත ඒවා ලංකා බැංකුව හරහා කල්බදු පහසුකම යටතේ මන්ත්‍රීවරුන්ට ලබා දීමේදී ගෙවීමට සිදුවන වැට් (Vat) බද්ද ගෙවනු ලබන්නේ බැංකුවද නැතිනම් මුදල් අමාත්‍යංශයද?යනුවෙන් ප්‍රශ්න කිහිපයක් මෙහිදී මතුවෙයි.

අප මෙම ප්‍රශ්ණාවලිය යොමු කරන්නේ  තවමත් මෙම ණයවර ලිපිය අවලංගු කර නොමැති නිසා අනිවාර්යයෙන්ම යථාර්ථයට මුහුණ දීමට ලංකා බැංකුවට සිදුවන නිසයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ සෘජු මැදිහත්වීම මත මෙම වාහන ආනයනය කිරීම සිදුවුවත් අමාත්‍යා මණ්ඩලයේ මැදිහත්වීමෙන් ආනයනය තහනම් කිරීමට ගන්නා ලද තීරණය නිසා මේ වනවිට ලංකා බැංකුවද  මහත් අසීරුතාවයකට මුහුණ දී ඇති බවත් රහසක් නොවෙයි .

ලංකා බැංකුව පමණක් නොව මෙම ණයවර ලිපිය සිංගප්පූරුවේ හොංකොං බැංකුව වෙත  අනුමත (confirming bank) කරන ලද විදේශීය බැංකුවද මෙම වගකීමට බැඳී සිටින බවත් සිහිපත් කළ යුතුයි.

කෙසේ  වුවද කිසිදු දේශීය හෝ විදේශීය සමාගම්වලින්  ටෙන්ඩර් නොකැඳවා, දේශීය ටොයෝටා සමාගමත් සිංගප්පූරුවේ තැරැව්කාර සමාගමක් හරහා වාහන ආනයනයට තීරණය කළ සියලුම නිලධාරීන් ‍රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම යටතේ වැරදිකරුවන් විය හැකි අතර ප්‍රධාන ගණන් දෙන නිලධාරීයා වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වගකීම කිසිසේත් සුලු කොට තැකිය නොහැකි බව සඳහන් කරන්නේත් මුදල්  එම අමාත්‍යාංශයේම කොටසක්.

ඒ කියන්නේ කොරෝනා අස්සේ වාහන ගෙන්වීම මේ ආණ්ඩුවේ තවත් බරපතළ දූෂණයක් ලෙස ඉදිරියේ අනාවරණය වීමට නියමිත බව නොවේද ?