Language Switcher

V2025

තෙල් මිල එකවර ඉහළ දාන්න උපදෙස් දුන්නේ බැසිල්ලු !

බැසිල් රාජපක්ෂ ලංකාවේ සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩනොදෙන බවට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ යළිත් විරෝධයක් මතුව ඇත.

ඒ ආණ්ඩුවේ බැසිල් හිතවාදි පාර්ශව තවදුරටත්  ඉන්ධන මිල ඉහළ දැමීමට තීන්දු කළ සැබෑ තත්ත්වය වසංකර පෞද්ගලික දේශපාලන වාසියක් ගැනීමට බැසිල් පාර්ශ්වය කටයුතු කරන බව පවසමිනි.

මේ බව මතුකරන බැසිල් විරෝධී පාර්ශ්ව සඳහන් කරන්නේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම තවදුරටත් දරාගත නොහැකි බව තක්සේරු කරමින් ඉන්ධන මිල අවස්ථා දෙකකට ඉහළ දැමීම සඳහා තීරණයක් ගෙන තිබුණත් එය  පසුව වෙනස් කළ  බවය.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව සාකච්ඡා කිරීමට ජීවන වියදම් ඇමති අනුකමිටුව රැස්වීමට පෙර දිනයේ බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර අමතා තෙල් මිල ප්‍රශ්නය ගැන කතාබහක් සිදුකර ඇත.

පීබී ජයසුන්දර ට බැසිල් දුන්න උපදෙස ?

එහිදී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර හරහා බැසිල් රාජපක්ෂ දැනගෙන ඇත්තේ ඉන්ධන මිල අවස්ථා දෙකකදී ඉහළ දැමීම සඳහා තීරණය කර ඇති බවය.

ඒ අනුව පළමු අවස්ථාවේ රුපියල් 10.00ක් සහ දෙවන අවස්ථාවේ රුපියල් 10.00 ක් වන ලෙස වැඩිකිරීම හැර විකල්පයක් නැති බව පීබී ජයසුන්දර පවසා ඇත.

එම අවස්ථාවේ  බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ  අවස්ථා දෙකකදී ජනතාව වෙතින් බැනුම් නොඅසා එකවර බැනුම් ඇසීම ප්‍රමාණවත් බවත් ඒ අනුව  ඉන්ධන මිල එකවර ඉහළ දැමීමට සුදුසු බවය.

පොහොට්ටු ලේකම්ගේ  හැසිරීම පුදුමසහගතයි !

ඒ අනුව ජීවන වියදම් ඇමති අනු කමිටුව ඒ යෝජනාව සඳහා එකඟතාව පළකර ඇත. 

දැන් ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්ව කියන්නේ ඉන්ධන මිල එකවර ඉහළ දැමීම සඳහා උපදෙස් නිකුත්කළ බැසිල් රාජපක්ෂ සිය පක්ෂ  ලේකම් හරහා නිවේදනයක් නිකුත්කරමින් සිදුකළ ක්‍රියාව කිසිසේත් අදහාගත නොහැකි ක්‍රියාවක් බවය.

පළමු අවස්ථාවේ පක්ෂයේ නිල ලිපි ශීර්ෂයෙන් ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් හරහා ගම්මන්පිල අමාත්‍යවරයා ට ඉල්ලා අස්වීම සඳහා ප්‍රසිද්ධ නිවේදන නිකුත්කළ පසුව දැන් දෙවැනි අවස්ථාවේ උග්‍ර බැසිල් පාක්ෂික ලංසා වැනි උදවිය යොදවා කරවන ප්‍රකාශ ඉතා බරපතළ බවත් එම ආරංචි මාර්ග පවසයි.

නාමලුත් හිටියා !

ඔවුන් පෙන්වා දෙන්නේ මේ පිටුපස ඉතා පැහැදිලිව ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාව හමුවේ දැඩි අපහසුතාවකට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ගැනත් සැකසංකා මතුවන බවය. එසේම අදාළ තෙල් මිල ඉහළ දැමීම සඳහා වූ සාකච්ඡාවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ද  සිටි බවත් මේ කරන ප්‍රකාශ හරහා සියළු දෙනා ජනතාව හමුවේ දුෂ්කරතාවකට පත්ව ඇති බවත්ය.