Language Switcher

V2025

කෙරවලපිටිය යුද පිටියක් වෙයි : විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි !

යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකා එක්සත් ජනපදයේ ෆෝට්‍රස් සමාගමට භාරදීමේ සංදේශය හෙට (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේවුවත් විපක්ෂයේ පාර්ශව චෝදනා කර සිටියේ පසුගිය සඳුදා අදාළ කැබිනට් පත්‍රය අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත්කර තිබු බවය.

මේ අතර ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරන්නේ විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත්ය.

ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ඔහු පැවසූ අතර ඒ අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපතිවරුන් වන අර්ජුන රණජීව, සුරෙස් අත්තනායක, උප ලේකම් එම්. උගාස්, භාණ්ඩාගාරික එ.එම් පත්මසිරි, සංවිධායක ලේකම් මනෝජ් ප්‍රියංකර යන අයද සහභාගී වී සිටියහ.

විදුලි බල මණ්ඩලය රාජපක්ෂ පවුලේ භූදලයක් නොවන බව සඳහන් කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් වැඩි දුරටත් සඳහන් කර සිටියේ ලබන 20වන අඟහරුවාදා විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයින් කොළඹට කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. එමෙන්ම සෑම ගමකම පන්සල් මූලික කර ගෙන පාරිභෝගික කමිටු පිහිටුවන බවත් ඒ හරහා ඇමරිකාවට විදුලි බල මණ්ඩලය විකිණීමේ ආණ්ඩුවේ කූඨ උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් සඳහන් කළේය.