මානව හිමිකම් කඩවීම් පිළිබඳ අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් කඩවීම් පිළිබඳ අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් කඩවීම් ඇත්දැයි සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තාවක් ඊයේ ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

මානව හිමිකම් හා අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් හා සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනයට පත්කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එම කොමිසම පත්කර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිව්දෙනෙකුගෙන් සමන්විත කොමිසම සිය අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත ඊයේ භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය හිටපු නගරාධිපතිනි යෝගේෂ්වරී පත්තුණරාජා යන අය පත්කර සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බව අදාළ අතුරු වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9,11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ.

පනතේ 9 වන වගන්තිය මගින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ දී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබාගන්නා පුද්ගලයන්ට අධිචෝදනා ගොනුකර නඩු අසා නිම කිරීම.

11 වන වගන්තිය යටතේ වූ රැඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාව.

13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම ද කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න