මරන්න ජනාධිපති බලය දුන්නා : පිස්තෝලය ඔලුවට තියා ලොහාන් කියලා !

මරන්න ජනාධිපති බලය දුන්නා : පිස්තෝලය ඔලුවට තියා ලොහාන් කියලා !

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට පැන සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බව කියා සිටිමින් ද්‍රවිඩ සිරකරුවන් 08 දෙනෙක් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

තමන්ගේ ජීවිතවලටද හානියක් විය හැකි බව කියන පෙත්සම්කරු තමන් බන්ධනාගරයෙන්ම මුදා හැරීම හෝ ඇප පිට මුදා හැරීමට නියෝග කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටී.

එසේ නැතිනම් උතුරු පළාතේ බන්ධනාගාරයකට හෝ තමන් කලින් සිටි යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම පිළිගෙන පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 12(2) වගන්තිවලින් සහතික කර ඇති මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ලොහාන් රත්වත්ත, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී. එම්.එච්.ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.වී.එන්. උපුල්දෙනිය අධිකරණ ඇමැති අලි සබ්රි සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස නම් කර තිබේ.

පෙත්සමේ සඳහන් අන්දමට පෙත්සම්කරුවන් 08 දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ බන්ධනාගාර ගතව සිටින අය වෙති. ඔවුන් බන්ධනාගාරයට නියම කර ඇත්තේ වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයෙනි.

ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා සවස 6.10ට තවත් කීප දෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ ඇමැතිවරයා තමන් සිරකූඩුවලින් එළිට ගෙන දණ ගස්වා බැණ තර්ජනය කළ බවත් ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කිරීමට හෝ වෙඩි තබා මරා දැමීමට ජනාධිපතිවරයා බලය දුන්නා යැයි ඔහු පැවසූ බවත් ඒ අවස්ථාවේ දී ඔහු අතේ පිස්තෝලයක් තිබුණ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

අනතුරුව 08 දෙනාම පෙළ ගස්වා කළ වැරැදි මොනවාදැයි මුලින්ම 01 වෙනි පෙත්සම්කරුගෙන් ඇසූ විට සිංහල තේරෙන්නේ නැතැයි කී විට ඇමැතිවරයාට හොඳටම කේන්ති ගිය බවත් ඊට පසුව දෙදෙනෙක් හැර අනිත් අයව සිර කූඩුවලට ඇතුළු කළ බවත් 01 වැනි පෙත්සම්කරුගේ හිසට පිස්තෝලයක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බවත් ඒ අවස්ථාවේ ඔහු සමග සිටි අනික් අය ඔහු මෙල්ලකර එතැන්න ඉවතට රැගෙන ගිය බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ඒ අවස්ථාවේ දී තමන් දැඩි ලෙස බියට සහ තැතිගැන්මකට පත් වූ බවත් තවමත් තත්වය එසේ පවතින බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

ප්‍රබාලසිංම් සූර්ය පාලත්, එම්. සුල්කාෂන් ,ගනේෂන් තර්ෂාන්, කේ. කජේන්තිරසේ, ආර්. තිරුවල්, ජී.සී. තාරෂන්, එම්. සුතාහරක් , ටී. කංකානා බරන් මෙහි පෙත්සම්කරුවෝ වෙති.

– aruna

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න