Language Switcher

V2025

ආණ්ඩුවේ පසුපෙළට තැබූ : කාබනික වගා වැඩමුළුව උණුසුම් වෙයි !

කාබනික වගාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කළ ආචාර්ය සරත් රණවීර විසින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහා පැවැත්වූ දේශනය ඉතා උණුසුම් එකක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම දේශනය ඊයේ (22) පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු ශාල අංක 01 දි පැවැත්විණ.

සරත් රණවීරගේ හිමිකම් ඇති ‘බයෝ ෆුඩ්ස්’ පුද්ගලික සමාගම වසර 28ක් තුල කාබනික පොහොර යොදා ලබාගත් සාර්ථකවත්වයන් සම්බන්ධයෙන් කල පැහැදිලි කිරිමකින් පසු මන්ත්‍රිවරුන් පෙරලා ප‍්‍රශ්න කර ඇත්තේ කාබනික පොහොර යොදා නිශ්පාදනය කරන පලතුරු, එලවලු, කුලුබඩු සහ සහල් වල වාර්ශික වටිනාකම කවරේද යන්නයි.

මේ සදහා පෙරමුණ ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩර තෙන්නකෝන්, ලලිත් එල්ලාවල සහ මිලාන් ජයතිලකය.

එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ‌ප්‍රකාශ කොට ඇත්තේ රණවීර මහතාගේ තිස් වසරක ව්‍යාපෘතිය සාර්ථක වීම පිළිබද සතුටු විය හැකි නමුත් මෙම ක්‍රමය ගමේ සිටින ගොවි මහත්වරුන්ට එකවර ආදේශ කළ නොහැකි බවත්, එසේ කිරීමට ‌ගොස් බරපතළ ප්‍රශ්න මතුවී ඇති බවත්ය.

ඊට ඔහු දුන් පිලිතුර අභියෝගයට ලක් කල ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීවරයා එම සමාගම විසින් 2020 වසරේදි සම්පුර්ණයෙන්ම අපනයනය කොට ඇත්තේ අමරිකානු ඩොලර් මිලියන 12.6 ක් බවත් 2021 වසරේ මේ දක්වා අපනයන කොට තිබෙන්නේ මිලියන 9.7 ක් බවත් එම තොරතුරු EDB හරහා ලබා ගත් බව දන්වා ඇත.

එය මෙරට සමස්ත අපනයනයෙන් 0.1%ක් බවත් මෙරට සමස්ත වාර්ෂික සහල් නිෂ්පාදනයේ වටිනාකමෙන් 0.5%ක් බවත් මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දි තිබේ.

එමෙන්ම වසර 28ක් තිස්සේ කල ව්‍යාපාරයේ අද වනවිට කාබනික සහල් කිලෝග්‍රෑම් එකක සමාන්‍ය මිල කොපමණදැයි මන්ත‍්‍රීවරුන් විමසා තිබේ.

ඊට ඔහුගෙ පිළිතුර වී ඇත්තේ කාබනික සහල් කිලෝවක් රුපියල් 350 කට පමණ අලෙවි කළ යුතු බවයි.

එවිට මන්ත්‍රිවරුන් කියා ඇත්තේ නාඩු කිලෝවක් රුපියල් 110 ක් වැඩියි කියා ජනතාව විරෝධතා කරද්දී රුපියල් 350ක් දී කාබනික සහල් කෙසේ මිලට ගනීවිද කියාය.

එහිදී රණවීර මහතා සම්පුර්ණයෙන් කාබනික පොහොර යොදා වී ගොවිතැන කිරිම ප්‍රායෝගිකව එකවර කළ නොහැකි බව පිළිගෙන ඇත.

මීට අමතරව රණවීර මහතා කාබනික පොහොර යොදාගෙන දකුණේ සිදුකරන තේ වගාවක් පිළිබදව අදහස් දක්වද්දී ඊට එරෙහිව කතා කොට ඇති අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ පිළිබද කතා නොකරන ලෙසත්, එම සමාගම හොරෙන් රසායනික පොහොර භාවිතා කොට ඇති බව හෙළිව ඇති බවත් පැවසීමෙන් රණවීර මහතා දැඩි අපහසුතාවට පත්ව තිබේ.

එමෙන්ම අතුරලියේ ‍රතන හිමිටද පසුපෙළ මන්ත්‍රි කන්ඩායමෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී ඇත.

ප්‍රමිත බණ්ඩාර මහතා සිය කතාවේදී රතන හිමියන් සම්බන්ධයෙන්ද මතක් කර ඇති අතර පසුව මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සාකච්ජාවට පැමිණීමට පෙර එළියේදී රතන හිමියන් තමන් සමග ආණ්ඩුවේ කාබනික පොහොර වැඩසටහන විවේචනය කළ බවය.

නමුත් රතන හිමියන් සාකච්ජාවේදී කාබනික පොහොර වැඩපිළිවෙළ අගය කරමින් අදහස් දැක්වීමත් සමග පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් උන්වහන්සේට විරෝධය පළ කොට ඇත.

කෙසේවෙතත් රතන හිමි අවසානයේදී මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා වග නොකියන බවය.