Language Switcher

V2025

සියල්ල ආණ්ඩුවට බෑ : ජනතාවත් කැපකිරීම් කරන්න - ගොඩහේවා

සියළුම ප‍්‍රශ්න රජය මත නොපටවාල අපිත් යම් කැප කිරීමක් කරමු’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කටාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මෙසේද පැවසීය.

‘2022 වසරට එනකොට රජය කල්පනා කරලා තිබෙනවා, විශාල දුෂ්කරතා මධ්‍යයේ උවත් අපි පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලා ජනතාවට යම්කිසි සහනයක් දෙන්නට ඕනේ කියලා. හැම කෙනෙකුටම සහන දෙන්න බැරි උනත් විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන උත්සාහවන්ත අයට අපි උදව් කරන්න ඕනේ කියලා තීරණයක් අරන් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් ගමට වෙන් කරපු අයවැය තමයි මෙවර අපේ මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ ගම්වලට විශාල ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් එනවා. හැබැයි ඒ ප‍්‍රතිපාදන ආවහම ඒවා ප‍්‍රයෝජනවත් ආකාරයට යොදවා ගැනීම මේ ප‍්‍රතිලාභ ලබන අයගේ වගකීම වෙනවා.

ලෝකයේ අනෙක් රටවල අර්බුද ඇති වූ වෙලාවල ඒ රටවල් ආපහු ගොඩනැගුවේ දේශපාලනඥයෝ තනිවම නෙමෙයි. දෙවන ලෝක යුද්ධයෙන් යුරෝපය විනාශ වෙලා ගියහම ජර්මනියද, ප‍්‍රංශයද, එංගලන්තයද, හැම රටක්ම අලූ දූලි වෙලා තිබුණේ දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොට. ඒ රටවල් සියල්ල තව අවුරුදු 20ක්, 30 ක් යනකොට ලෝකයේ බලගතුව රටවල් ලෙස සංවර්ධනය වුණේ ඒ රටවල්වල ජනතාවගේ කැපවීම නිසා. තමුන්නාන්සේලා හැමෝම දන්න උදාහරණය ජපානය, යුද්දෙන් පැරදිලා විනාශවෙලා තිබුණ ඒ රට නැවත ගොඩනැගුවේ ඒ රටේ මිනිස්සු. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ජීවත්වෙලා හිටපු මිනිස්සු පැය විසිහතරම වැඩ කළා. වැඩ කරලා මුළු ලෝකයටම ගෙනයන්න පුළුවන් ව්‍යාපාර ගොඩනැගුවා. මුළු ලෝකයම ඇල්ලූවා. අවුරුදු 30 ක් 40 ක් යනවිට ලෝකයේ ප‍්‍රභලතම රටක් බවට පත්වුණේ ඒ රටවල ජනතාවගේ කැපවීම නිසා.

අපි ලංකාව ගැන කතා කරන කොට අපි පුංචි කාලේ, කොරියාව කියලා කියන්නේ නගරයේ තිබෙන අපිරිසිදු දුප්පත්ම ප‍්‍රදේශයට. ඒ මොකද කොරියාව කියලා කියන්නේ ඒ තරම් දුප්පත් රටක්. අද ගිහින් බැලූවොත් කොරියාව අද දියුණුතම රටක්. යුරෝපයේ ඕනෙම රටකට සංසන්දනය කරන්න පුළුවන්. ඒ රටවල් ගොඩනැගුවේ ඒ රටවල මිනිස්සු උත්සාහවන්ත නිසා. 1975 වෙනකම් යුද්ධ කර කර හිටපු වියට්නාමය, නාපාලම් බොම්බය ගහල විනාශ කරපු වියට්නාමය, තරුණ පරපුරෙන් භාගෙකට වඩා මියගිය වියට්නාමය අද ලෝකයේ ආසියාවේ තිබෙන වේගයෙන්ම සංවර්ධනය වන රටක්. මම අත්දැකීමෙන් දන්නවා මොනතරම් උත්සාහවන්තද කියලා ඒ මිනිස්සු.