අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි..!

අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි..!

අනුර කුමාර සහෝදරයා මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැ දැකීම ගැන එයාට හිතවත් අය එයාගේ පලු අරිනවා මම බලාගෙන. නැවිල වඳින එක ගැනත් අප්‍රසාදය පළ කරලා තියනවා. විශේෂයෙන් අනුරට උපදෙස් දෙන අයගේ ප්‍රමාණය දැන් වැඩි නිසා මම නම් උපදෙස් දෙන්න වගේ හදන්නේ නැහැ. මේ මම කියන්නේ මට හිතෙන දේ. හැබැයි ඒක විවේචනය කරන අයට එහෙම කරන්න අයිතිය තියෙන්න ඕනි.

මට නම් ඔය මල්වතු අස්ගිරි හාමුදුරුවරු බැහැදක්ක එක ගැන ලොකු ආරෝවක් නැහැ. ටිකක් දැන් ජාතික තලෙයේ නායකයෙක් වෙන්න යන නිසා පක්ෂේ කට්ටිය කියන්න ඇති පොඩ්ඩක් එහෙම රවුමක් ගහල එන්න කියල.

මේ කරන්නේ ඌරගේ මාළු ඌ උඩම තියල කපන එක. උඹල අපිව පාච්චල් කරන්නේ විප්ලවවාදීන් කියල නේ...හරි දැන් අපි මල්වතු අස්ගිරි යනවා....දැන් මොකද කියන්නේ? මම කියන්නේ මේක ලාංකික සමාජයෙන් කරන බරපතල පළිගැනීමක් කියල...ඒක ඒ විදියටම වෙන්න ඕනි.

එහෙම නැමෙන්නත් ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි. ඒක පරාජයක් නෙවෙයි.

මේක පංති අරගලයවත්, ලෙනින්ගේ විප්ලවයවත් නෙවෙයි. එයා කරන්නේ විසි එක් වන සියවසේ මැතිවරණ මුල් කරගත්ත පෝස්ට් මොඩන් වැඩක්...ඒක අපි දන්නා විප්ලව දේශපාලනය විකෘති කිරීමක්. නමුත් විකෘතිය විසින් නව අවකාශයක් නිර්මාණය කරනවා. ඒක තේරුම් ගන්න ලොකු තියරි ඕනි නැහැ.

මෙතන පොඩි දෙයයි තියෙන්නේ. විශ්ව විද්‍යාල වල, ගොවි අරගල වල, වීදි සටන් වගේ ක්ෂුද්‍ර අවකාශ වල පවත්වා ගෙන යන 'රැඩිකල් ප්‍රවේශය' මහා සමාජය එක්ක ගමන් කරන ලොකු වැඩකදී පවත්වා ගෙන යන්න බැහැ. එතකොට පොඩ්ඩක් අර මහා සමාජයේ දැක්ම (gaze) එක්ක වැඩ කරන්න වෙනවා. මම කියන්නේ අනුර කරන්නෙත් මහින්ද මහත්තයා සහ මෛත්‍රී ලොක්ක කරපු දේ ම කියල නෙවෙයි. හැබැයි මෙතන පොඩි වසඟයක් තියනවා (seduction). ඒ වසඟය නැතුව බැහැ වැඩේ ලොකුවට ගොඩ දාන්න ඕනි නම්...

මෙතෙක් වැඩ කරපු අර පොඩි තැන් වලින් ලොකු අවකාශයක් වෙත විතැන් වෙනකොට ගොඩක් දේවල් විපරිණාමය වෙන්න ඕනි. රූපාන්තරණය වෙන්න ඕනි. හැබැයි දැන් අනුරට ගේන විවේචනය ජේ.වී.පී. එක හවුල් වෙච්ච වෙනත් පොදු අපේක්ෂකයෙක් (මෛත්‍රී, චම්පික, විමුක්ති, සංගක්කාර, ධම්මික පෙරේරා...සහ වෙන ඕනෑ එකෙක්) ඔය විදියටම කලා නම් ඔය විවේචන එකක්වත් එන්නේ නැහැ. ඒ නිසා අනුර මහේෂ්ක තලය වෙත විකසිත වෙද්දී සහ ඒ සඳහා උත්සාහ කරද්දී ඒ සඳහා අපේ ආසාවල් එයා වෙත ප්‍රක්ෂේපනය නොකර ඉම්මු. අවම වශයෙන් මම එහෙම කරන්නේ නැහැ.

පහුගිය මැතිවරණේ පොදු අපේක්ෂකයා හැටියට ජන බලවේගේ අනුර නම් කරද්දී හැමෝම මැලවුනා. හැබැයි දැන් එහෙම කවුරුත් හිතන්නේ නැහැ. දැන් හැමෝම උපදෙස් දෙනවා හරි පාරේ යන්නේ කොහොමද කියල. මේ තරම් ගමනක් ආවේ එයාලගේ විදියට කියන එක ඇයි අපි අමතක කරන්නේ? එකම දේ මේ අද දවසේ අර්බුදය විසින් ඔවුන්ට ලොකු ඉඩක් හදල දීල තියනවා. ඒක අමතර වාසියක්.

අපේ ජීවිත කාලේ ඇතුලේ අපි හිතුවේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ මැතිවරණයක් දිනල ඒ දුර යයි කියල. දැන් අඩු තරමේ එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් තැනට එයාල ඇවිල්ල තියනවා. ඒක දුෂ්කර ගමනක්. අති දුෂ්කර දේශපාලන ගමනක්. ලේ කඳුළු එක්ක කරපු මාරක ගණුදෙනුවක්.

ඒ ගමන ආවේ එයාලගේ විදියට. වැරදුණත් කමක් නැහැ. ඉතුරු ටිකත් ඔහොමම යන්න...

මෙතෙක් දිනපු හැමෝම දිනුවෙත් ලොකු ලොකු ගණන් වලින් නේ. ඉතිං අනුර කවදාහරි දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි.

මම ජේ. වී. පී. කාරයෙක් නෙවෙයි....

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න