තෙල් ගිඟ ඇමති - මංගල සරණ යයි : මිල සූත්‍රය ඉල්ලයි !

 තෙල් ගිඟ ඇමති - මංගල සරණ යයි : මිල සූත්‍රය ඉල්ලයි !

රට තුළ මේ වනවිට පවතින බරපතල ඉන්ධන අර්බුදය සලකා ඉන්ධන මිලි සූත්‍රය යළි වහාම ක්‍රියාත්හක කරන ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මෙරටට අවශ්‍ය තරම් ඉන්ධන ආනයනය කිරීමට ආණ්ඩුව අසමත්වීම හමුවේ ඛනිජ තෙල් අමාත්‍යවරයා තෙල් අරපිරිමැස්ම සම්බන්ධ අමාත්‍යවරයා බවට කටයුතු කරන්න ගෙන ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

එසේම ඔවුන් පවසන්නේ තෙල් මිල ස්ථායිකරණ අරමුදල මිස ඉන්ධන මිල සූත්‍රය මෙරටට නොසුදුසු බවට පරසක්වල ගැසූවන් දැන් අර්බුදය උග්‍රවූ අවස්ථාව එහි සරණ පතා පැමිණ ඇති බවයි.

තවද හිටපු මුදල් අමාත්‍ය දිවංගත මංගල සමරවීර විසින් එදා නිවැරදි දැක්මකින් තක්සේරු කොට මෙරටට ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දුන් නමුත් එවකට විපක්ෂයේ සිටි වත්මන් පාලකයන් එහි කාලෝචිත බව සම්බන්ධයෙන් ජනතාව නොමග යැවූ බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් මේ බව සඳහන් කර සිටියේ ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින් රජයට ඉදිරිපත් කර ඇති හදිසි යෝජනාවලිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ය.

වාර්තා වන ආකාරයට පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ,වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකිරීම, කොළඹට එන වාහන සීමා කිරීම ආදිය අමාත්‍යවරයා යෝජනා කර ඇත.

එසේම රාජ්‍ය ආයතනවල රැස්වීම් ,සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරීම , ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමා කර එවැනි රැස්වීම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම , වාහන තදබදය අඩු කිරීමට වහා පියවර ගත යුතු යැයි ද, කර්මාන්තවලට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීමට කර්මාන්තකරුවන් දිරිගන්වන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

වාණිජ බැංකුවලට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් තුනෙන් එකක් මහබැංකුවට ගෙන, ඖෂධ ,වෛද්‍ය උපකරණ හා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රාජ්‍ය ආයතන වලට ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමැතිවරයා විනෝද ගමන් ,නෑදෑයන් හමුවීම්, විනෝද චාරිකා ,ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීම ද ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇති බවද පෙන්වා දී ඇත.

මේ අතර,කොවිඩ් වසංගතය බෝවිම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට ,පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම ද ගෑස් හිඟය හේතුවෙන් භුමිතෙල් ලිප් භාවිතය ඉහළ යාම ද ඉන්ධන භාවිතය ඉහළ යාමට බලපා ඇතැයි ඇමැතිවරයා පෙන්වා දී ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මේ වන විට ඉහළ යමින් පවතින බවත්, දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 74ක් ලෙස පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 86 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇමතිවරයා ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 400 ක් වැය කරන්නට සිදුවන බවද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න