Language Switcher

V2025

ආණ්ඩුවේ පසුපෙළ ප්‍රහාරයක් : ඉලක්කය ජනාධිපති ?

පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කළ යුතු බව ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කර ඇති බව ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වාර්තා කරයි.

ජනතාව මුහුණ දී ඇති අර්බුදය හමුවේ පාරට බහින්න නොහැකි තත්වයක් තමනට ද උදා වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළ බවත් අදාළ පුවත පවසයි.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අර්බුදය විසඳන්න වැඩපිළිවෙළක් ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුතු බවත් හොඳ දේට හොඳයි කීම සහ වැරදි දේය වැරදියි කීම කණ්ඩායමේ ප්‍රතිපත්තිය බවත් කී ඔහු එසේ නැතිව පසු පෙල සිටින්නේ ආණ්ඩුවට ප්‍රසස්ති කීමට නො වන බව ද පැවසීය.

ඉන්ධන හා ගෑස් අර්බුදය හමුවේ ජන ජීවිතය බරපතළ ලෙස කඩා වැටී ඇති බවත් එනිසා ජනතාවගෙන් එල්ලවන අපවාදයෙන් බේරීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයිද ඔහු කියා සිටියේය.

ලලිත් එල්ලාවල !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සඳහන් කරන්නේ රට අනිවාර්යෙන්ම හදනවා යැයි ජනාධිපතිවරයා ජාතිය අමතා පැවසුවත් ජනතාව තවදුරටත් එතුමා කෙරෙහි විශ්වාසය තබයි ද යන්න ගැටළුවක් බවයි.

ජනතාව පෝලිම්වල දැඩි පීඩාවකින් සිටින බවත් ජනතාවට තවදුරටත් මෙය දරා ගැනීමට අමාරු බවත් හෙතෙම සඳහන් කළේය.

පසු පෙල මන්ත්‍රීවරුන් ලෙස නායකයන්ට ප්‍රශස්ති නොකියන බවත් ජනතාව විසින් තමන් පාර්ලිමේන්තු යැවුවේ ප්‍රශස්ති ගී ගයන්නට ම නොවන බවත් ඔහු පැවසීය.

බැසිල්ගේ ගෝලයන් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ , පසුපෙළ මන්ත්‍රීවරුන් ගේ මුවින් පිටවුණත් මේ ප්‍රකාශය පසුපස ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ගැටුමක් නිරීක්ෂණය වන බවයි.

මේ වන විට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නට කටයුතු කරමින් සිටින බවත් එහි සහය ලැබුණත් එය මාස කිහිපයක් ගතවෙන ක්‍රියාවලියක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ පසුබිමේ මෙවැනි ප්‍රකාශ හරහා සෘජුව ජනාධිපති අපහසුතාවට පත්වෙන බවත් විචාරකයන් පවසයි.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා සතියක් ඉක්මයන්න පෙර මේ ප්‍රකාශ සිදුවීමත්, ජනාධිපති පත්කළ ජාතික ආර්ථික කමිටුව හා ඊට උපදෙස් දෙන්න පත්කළ උපදේශක සභාව ක්‍රියාත්මක වීමට පෙර මේ ආකාරයට ප්‍රකාශ නිකුත්වීමය.

අනෙක් අතට ජනාධිපති පූර්ණ බලතල සහිත විධායකය නියෝජනය කළත්, ඔහුට ආණ්ඩුවේ දේශපාලන නායකත්වය නොමැති පසුබිමේ සමස්ථ ආණ්ඩුව විසින් උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක් මේ ආකාරයට සුළඟේ පාකර ප්‍රසිද්ධ කිරීම පැහැදිලි ගැටලුවක් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ පසුපෙළ සඳහා දේශපාලන නායකත්වය ලබාදෙන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ බවයි. ඒ හමුවේ සෘජුව ඔහු වෙත මේ දුක්ගැනවිල්ල ඉදිරිපත් නොකර ප්‍රසිද්ධ කිරීම පැහැදිලි දේශපාලන ගැටුමක් ලෙස හඳුනා ගැනීම දුෂ්කර නොවන බවත් දේශපාලන විචාරකයන් පවසයි.