Language Switcher

V2025

මේ වෙලාවේ අගමැති වෙන්න : රනිල්ට පිස්සු නෑ !

අග්‍රාමාත්‍ය ධූරය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දීමට කිසිදු සූදානමක් නැති බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවත් ඔහු පවසන අතර ඒ එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කළ අතර මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බවයි.

මේ වෙලාවේ අගමැති වෙන්න තරම් මොලේ අමාරුවක් රනිල්ට තියෙනවාද ?

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් එජාප ප්‍රබලයකු සඳහන් කර සිටියේ මේ මොහොතේ අගමැති වීමට තරම් මොළේ අමාරුවක් රනිල් වික්‍රමසිංහ නායකයාට ඇතැයි තමන්ද නොසිතන බවයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට හමුවේ යෝජනා කර ඇත්තේ , රාජ්‍ය පාලනයේ අසමත් බව සෑම අංශයකින්ම ඔප්පු කළ වත්මන් පාලනය තුළ අගමැති වීමක් නොව, ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස්කර රට වැටී ඇති ගිනිය නොහැකි අර්බුදයෙන් ගොඩ ගැනීම බව්ත් ඔහු පැවසීය.

එහිදී එජාප ප්‍රබලයා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

අපිට කිසිම හදිසියක් නෑ හෙට ආණ්ඩුව ගන්න. අනික එහෙම ආවට ගියාට ආණ්ඩු ගන්නත් බෑ. අපි ඔය සසමහරු වගේ ව්‍යවස්ථාව අමතක වෙලා, හෙට ජනාධිපතිවරණයක් තියන්න කියන්නෙත් නෑ. මහින්ද අගමැතිතුමාගෙන් කොයි වෙලාවෙද අගමැතිකම ගන්නේ කියලා කුරුමාණම් ඇල්ලිල්ලකුත් අපේ නෑ. අපිට දැක්මක් වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් එය මේ මොහොතට ප්‍රමාණවත් නෑ. මොකද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලය අපිට නෑ. හැබැයි අපි, ඒ බලය ලබාගන්න ක්‍රියාත්මක වෙනවා. ඒක ආවට ගියාට කරන්න බෑ. යහපාලනය සම්බන්ධයෙන් අපිට උගත් පාඩම් ප්‍රමාණයක් තියෙනවා.

කොහොම නමුත් ජනතාව මේ වෙලාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දිහා බැලීම වැදගත්. කොහොමටත් වෙන්න ඉඩක් නැති , පොදුජන පෙරමුණ ආණ්ඩුවේ රනිල් අගමැති වෙන්න වගේ හිනා යන ගොසිප් වලට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ලේකම් මාධ්‍ය හමුවක් තියනවා. ඒවා දැකලා සමහරු සැනසුම් සුසුම් හෙළනවා. ඒ කියන්නේ මොකක්ද ? මේ මහ අර්බුදය ගොඩදාන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ උදවිය දන්නවා. ඔවුන් ගේ නායකයන් අසමත් බවත් දන්නවා. වෙනමොන කතාද ?"