ශවේන්ද්‍ර ජාතිය අමතයි - සාමය ආරක්ෂා කිරීමට ශ්‍රීලංකා වාසි ජනතාවගෙන් සහය ඉල්ලයි

ශවේන්ද්‍ර ජාතිය අමතයි - සාමය ආරක්ෂා කිරීමට ශ්‍රීලංකා වාසි ජනතාවගෙන් සහය ඉල්ලයි

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා වාසි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ මොහොතේ රටේ ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණ සාමකාමීව සහ ව්‍යවස්ථානුකුලව නිරාකරණය කරගැනීම අතිශයින් වැදගත්බව ඔහු පෙන්වාදෙයි.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ ඉල්ලීම සිදු කළේ, විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් වන යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ද එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

දින ගණනාවක් ඉන්දියාවේ නිල සංචාරයකට සහභාගී ව සිටි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක හමුදා ප්‍රධානින් පිරිසක් යලි වහාම දිවයිනට පැමිණියේ ඊයේ (09) පස්වරුවේදීය.

දේශපාලන නායකයින් හැංගිලා !

මේවනවිට ජනාධිපතිවරයා සැඟවී සිටිමින් සිය ඉල්ලා අස්වීමේ දිනය ප්‍රකාශයට පත්කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ ද සිය අගමැති ධුරයෙන් ඉවත්වන බවක් දැනුම් දී තිබේ.

බන්ධුල ගුණවර්ධන ඊයේ සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වූ අතර තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කිරීමට නියමිතබව වාර්තාවේ.

එසේම මේවනවිට ආරක්ෂක හමුදාවන් හා පොලිසිය මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර මහජන ආරක්ෂාව මුළුමනින්ම බිඳ වැටි තිබේ.

මෙම තත්වය තුළ ඇතැම් මාධ්‍ය රට පාලනය කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

අරගලකරුවන් කොළඹ කඳවුරු බැඳගනී !

 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වමින් ඊයේ කොළඹට එක්රැස්වූ අරගලයේ නිරත සාමාන්‍ය වැසියන් බොහෝ පිරිසක් මේවනවිටත් කොළඹ කොටුව සහ අවට ප්‍රදේශවල රැඳී සිටිති.

අද අලුයම සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවලදී නිරික්ෂණය වුණේ එම විරෝධතාකරුවන්ගෙන් විශාල පිරිසක් මේවනවිටත් ගාලුමුදොර අරගලභූමියේ රැඳී සිටින බවයි.

තවත් පිරිසක් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රය තුළත්, තවත් පිරිසක් කොටුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළත් රැඳී සිටිති. ඊට අමතරව කොටුව දුම්රිය ස්ථානයේ ද තවත් විශාල පිරිසක් තවදුරටත් රැඳී සිටින බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශවලට සහයෝගය ලබාදෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය හමුවක් පවත්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි වටපිටාවක් තුළයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න