Language Switcher

V2025

ශ්‍රීලනිපයේ 22 ක් අද රාත්‍රීයේ ආණ්ඩුවෙන් ඉවත්වෙයි : තීරණය ජනාධිපතිට : යන්නේ 15යි -තවත් ශ්‍රීලනිප ප්‍රබලයෙක් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවට සහය ලබාදුන් මන්ත්‍රීවරුන් 22ක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශකර ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කරඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍ය හමුවේ පවසා ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට විශ්වාසභංග යෝජනාව ඇතුළත් ලියවිල්ලට අත්සන් තැබූ ශ්‍රීලනිප 4 දෙනා ඇතුළුව අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී දිසානායක, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන,දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, අනුරාධ ජයරත්න, ටී.බස්නායක ඇතුළු මැති ඇමතිවරුන් මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වන අතර ඔවුන් අද රාත්‍රීයේ විපක්ෂයට එක්වීමට නියමිතව ඇත.

එසේම මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිත පිරිස තම තීන්දුව සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙන බවද වාර්තා වෙයි.

රාජපක්ෂවරුන් කියන දේ කරන 15ක් ආණ්ඩුවෙන් යනවා - තවත් ශ්‍රීලනිප ප්‍රබලයෙක්

මේ සම්බන්ධව newstube සිදුකළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිත ශ්‍රීලනිප මැති ඇමති පිරිස 15ක් පමණක් බවත් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර සිටි මැති ඇමතිවරුන් 6 දෙනෙකු රාජපක්ෂලාට වෙනත් වටයකින් පක්ෂය පාවාදීමේ සුදානම හමුවේ තම තීරණය වෙනස් කරගෙන තිබෙන බවය.

එසේම ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිඳු තීරණයක් මෙතෙක් පක්ෂය නිල වශයෙන් ගෙන නොමැති නමුත් දිගින් දිගටම රාජපක්ෂවරුන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුවේ තීන්දු තීරණ වලට බලපෑම් කරමින් සිට විශ්වාසභංග යෝජනාවටත් පක්ෂව ජන්දය දීමෙන් පසුව තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බැවින් ඇතැමුන්ට ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙනත් කරන්නට දෙයක් නොමැති බවද ඔහු පැවසීය.