අගමැතිට, ආණ්ඩුවට විරුද්ධවී ඇමති වරප්‍රසාද භුක්ති විඳීමේ සුදානමක්

අගමැතිට, ආණ්ඩුවට විරුද්ධවී ඇමති වරප්‍රසාද භුක්ති විඳීමේ සුදානමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදීමට තීරණය කර සිටින ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා අමාත්‍යධුර අත්හරින ලෙස දැනුම්දෙන තුරු අමාත්‍ය පදවි සහ අමාත්‍ය වරප්‍රසාද භුක්ති විඳින්නට සුදානමක් ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මේ වන විට එස්.බී දිසානායක , දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක , සුමේධා ජයසේන ඇතුළු පිරිසක් මෙසේ ජනාධිපතිවරයා දැනුම්දෙන තුරු අමාත්‍යංශ අත්හැරිය යුතු නැතැයි යන මතයේ සිටිති.

මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදී එම මැති ඇමති පිරිස විසින් සඳහන් කර තිබෙන බවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයාද විශ්වාසභංග විවාදයේදී තම කතාවේ ඒ පිළිබඳ ඉඟි නිකුත් කර ඇති අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ තීරණය සම්බන්ධව එජාප සහ ශ්‍රීලනිපයේ ආණ්ඩුව තුළ රැඳී සිටීමට අපේක්ෂා කරන පාර්ශවය බලවත් විරෝධයක් දක්වමින් සිටින බවය.

එජාප පාර්ශවයේ අදහස

අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව ආණ්ඩුවට එරෙහිව බවත් ඒ හේතුවෙන් ඊට සහය දෙන කිසිවෙකුට අද (04) රාත්‍රියේ සිට අමාත්‍ය වරප්‍රසාද භුක්ති විඳින්නට ඉඩදිය නොහැකි බව ආණ්ඩුව පාර්ශවයේ අදහස වී ඇත.

එසේම විශ්වාසභංග යෝජනාවට සහය දෙන පිරිසට ආණ්ඩුවෙන් ඉවත්වී අමාත්‍ය වරප්‍රසාද අත්හැරීමට අමුතුවෙන් දැනුම්දිය යුතු නොමැති බවත් ඒ සඳහා ජනාධිපතිවරයාද අළුතින් දැනුම්දීමට දෙයක් නොමැති බවද ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

ඇමතිකම් නැතිවෙන බව දැනගත් පිරිසක් රහසේම මාරුවෙයි !

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුවට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන කිසිවෙකුට තවදුරටත් ඇමතිකම් හෝ ඇමති වරප්‍රසාද භික්ති විඳීමට ඉඩ නොදෙන බවට මතුව තිබෙන බලවත් විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීමට සිටි ශ්‍රීලනිප 22 ක මේ වන විට 15-12 අතර ප්‍රමාණයක් දක්වා අඩුවී තිබෙන බවද දැනගන්නට ඇත.

ජනාධිපතිගෙන් අහන්න උත්සාහයක් !

ඇතැම් පාර්ශව ජනාධිපතිවරයාව සම්බන්ධ කරගෙන ඇමති වරප්‍රසාද අහිමිවීමේ අවධානම සම්බන්ධව දැනගැනීමට උත්සාහ කරන බවත් මෙතෙක් ඒ සම්බන්ධව ජනාධිපතිවරයා වෙතින් කිසිඳු දැනුම්දීමක් සිදුව නොමැති බවද වාර්තා වෙයි.

එසේම ශ්‍රීලනිප ය නියෝජනය කරන බහුතරයක් පක්ෂ සමඟිය වෙනුවෙන් විශ්වාසභංග ජන්ද විමසුම වර්ජනය කර සිටින බවත් එම පාර්ශවය අමාත්‍යවරුන් ලෙස පිළිගැනීමට එජාප මන්ත්‍රී කණ්ඩායම එකඟත්වය ප්‍රකාශ කර තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

 ශ්‍රීලනිපයේ අභ්‍යන්තරයේත් විරෝධයක් !

මේ සම්බන්ධව ආණ්ඩුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන අමාත්‍යවරුන්ගේද ස්ථාවරය වී ඇත්තේ ආණ්ඩුවට එරෙහිව ජන්දය දෙන කිසිවෙකුත් යළිත් අමාත්‍යධුර දැරීම අනුමත නොකරන බවය. රාජපක්ෂලාගේ නූල් සුත්තර අනුව යමින් වසර 3ක් පුරා ආණ්ඩුව දුෂ්කරතාවට පත්කිරීමට කටයුතු කිරීමත් එජාපය සමඟ ජනාධිපතිවරයා අතර තිබු සම්මිතිය අමු අමුවේ කෙලෙසූ පාර්ශව සමඟ තවදුරටත් කැබිනට් සාමුහිඛත්වයක් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවටද ඔවුන් දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වෙයි.

ජනාධිපතිව දේශපාලන අවධානමකට ඇද දැම්මා!

පක්ෂ විනය අමුඅමුවේ කෙළෙසමින් ගෝඨාභය රාජපක්ෂ අතේ රාජපක්ෂලා එවූ දේශපාලන ලනුවක් පක්ෂ අභ්‍යන්තරයට ගෙන ඒමට කටයුතු කළ සහ අවම වශයෙන් මහ මැතිවරණයකින් ජයගත නොහැකිව ජාතික ලැයිස්තුවෙන් පිං මන්ත්‍රීකම් ලබා පිං ඇමතිකම් දැරූ පිරිස් තවදුරටත් පක්ෂයේ තබාගන්නවාද යන තීරණය ජනාධිපතිවරයා ගත යුතු බවද ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

එසේම රාජපක්ෂලා මෛත්‍රී ජනාධිපතිවරයා සමඟ දැඩි වෛරයකින් පසුවන බවත් ඒ බව දැන දැන ජනාධිපතිවරයාව දේශපාලනිකව අවධානමේ හෙලූ පිරිසක් සමඟ තවදුරටත් එකට දේශපාලනය කිරීම සම්බන්ධව හෘද සාක්ෂියක් සහිතව කටයුතු කිරීමේ ප්‍රශ්නයක් ඇති බවද එම පිරිස සඳහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න